බහාලුම් ප්රවාහන නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාවට අමතරව ඉන්දීය නාවික හමුදාව හා ඉන්දීය වෙරළාරක්ෂක බලකායද එක්වූ බව නාවික හමුදාව නිවේදනය කරයි.
පැනමා ධජය යටතේ යාත්රා කරමින් තිබූ ඩැනීලා බහාලුම් නෞකාවේ ඊයේ (4දා) ගින්නක් ඇතිවිය. එය මැඩපැවැත්වීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාවේ වේග ප්රහාරක යාත්රා 2 ක් ඊයේ පිටත් කර යැවීය.
ගින්න පැතිරීම අධික වීම හේතුවෙන් වරාය අධිකාරිය සතු ටග් යාත්රා 2 ක් වන රාවණා සහ මහ වැව එක්ව තිබේ.එයද ප්රමාණවත් නොවීම හේතුවෙන් සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් ශූර් නෞකාව ගින්න මැඩ පැවැත්වීමට එක්විය.
ඊට අමතරව දකුණු මුහුදු තීරයේ මුර සංචාරක කටයුතු වල නිරතව සිටි ශ්රී ලංකා නාවික නෞකා සාගර නෞකාව ද මෙහෙයුම් සඳහා එක්ව තිබේ.
මීට අමතරව, ඉන්දියානු නාවික හමුදාව ඔවුන්ගේ නෞකාවන් 2 ක් වන දර්ශක් සහ ගැරියර් යන නෞකාවන් ද ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා පිටත් කර එවන ලදී.
මේ අතර, හදිසි අවස්ථාවක් උද්ගත වුව හොත් නෞකාවේ සිටි 21 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලය බේරා ගැනීමේ අරමුණින් ශ්රී ලංකා නාවික හමුදාව තවත් වේග ප්රහාරක යාත්රාවන් 3 කද යොදවා තිබේ.
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 සහ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් චෙතක් යන හෙලිකොප්ටර් යානා ද නෞකාවේ ගිනි නිවීමේ මෙහෙයුම සඳහා සහාය දැක්වීමට යොදවා තිබිණි. ගිනි නිවීමේ කටයුතු මේ වන විටත් ක්රියාත්මක කරමින් පවතියි.