නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයෙන් පිටවන විෂ වායුව ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කරන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
පුත්තලමේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා කිලෝමීටර් 100කට වැඩිදුරක් තිබෙන බවත්, එම කොටස තුළ බෝධීන් වහන්සේලා ඇතුළු අති විශාල ගස් ප්‍රමාණයක් තිබෙන බවත් එම සංගමයේ සභාපති, ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේය.
නොරොච්චොලේ බලාගාරය මෙන් බලාගාර දහසක් චීනයේ තිබෙන බවත්, ඒවා වසර 30 - 40ක සිට ක්‍රියාත්මක බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව ලෝකයේ බොහෝ රටවල් ගල්අඟුරු බලාගාර භාවිත කරන බවත්, මෙවැනි දෙයක් සිදුවනවා නම් එම රටවල් කාන්තාර බවට පත්විය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
පරිසරවේදීන් කිහිපදෙනෙකු පවසන ආකාරයටනොරොච්චෝලේ බලාගාරය තුළින් විෂ වායු පිටවීමක් සිදු නොවන බවත්, එවැනි දෙයක් සිදුවන්නේ නම් මුලින්ම බලාගාරය ආසන්නයේ තිබෙන ගහකොළ විනාශ වී යා යුතු බවත් හෙතෙමකියා සිටියේය.
මීට අමතරව අඩු වියදම් ජනන සැලසුම් ක්‍රියාත්මක කරගැනීම සඳහා ක්‍රියාත්මක කරන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ඊයේ (15දා) දිනය වනවිට සතියක කාලයක් ගත වී තිබුණද, ඊට විසඳුම් ලැබි නැතැයිද හෙතෙම කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විෂයභාර අමාත්‍යවරයා පවා මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කර තිබුණද, වෙනත් දේශපාලන හස්තයක් විසින් එය කඩාකප්පල් කර දමන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ නිසා ඉදිරි දිනවලදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරන බවද ඔහු පවසා සිටියේය.
මේ දිනවල සිදුවන විදුලිය බිඳවැටීම්වලට ඉංජිනේරු සංගමයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, සිදු වී තිබෙන්නේ අකුරට වැඩ කිරීම නිසා බිඳවැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් නොවීම බවත් හෙතෙම කියා සිටියේය.