නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් වෛද්‍යවරුන් උත්සාහ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06දා) එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
“සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අසරණ රෝගීන්ට අක්ෂි කාච ලබාදීම සඳහා 'විෂන් 2020' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. වෛද්‍යවරු මට ප්‍රකාශ කළා එම වැඩසටහන යටතේද ලබා දෙන්නේ බාල අක්ෂි කාච බව. රෝගීන්ගෙන්ද විවිධ චෝදනා තිබුණා. මම අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නා ශරීරයට ඇතුළු කරන උපකරණ සඳහා බාල ඒවා යොදා නොගන්නා ලෙස.
බොරු කරන්න එපා. මානුෂික ප්රතිපත්තියක සිට රෝගීන්ට සේවා කටයුතු සිදු කළ යුතුයි. ඇතැම් වෛද්‍යවරු අක්ෂි කාච නොමිලේ ලබාදෙන වැඩපිළිවෙළත් කඩාකප්පල් කරන්න හදනවා. උවමනාවෙන්ම කියනවා අක්ෂි කාච නැහැ කියලා. ඒ ඔවුන්ට මෙතෙක් ඖෂධ සමාගම්වලින් ලැබුණු ප්රතිලාභ අහිමිවීම නිසයි.
හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ස්වල මිල අඩු කිරීමෙන්ද එම ප්රතිලාභ නොලැබෙන්න පුළුවන්. මෙම වසර අවසන් වනවිට අක්ෂි කාච ලක්ෂ එකහමාරක් පමණ රජයේ රෝහල්වල සැත්කම් සඳහා අවශ්‍ය වනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.