මිහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා ඇතුළු පිරිසක් පසුගිය 30දා රාත්‍රියේ, නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන්ට පහර දුන් බවට පවසමින් හා ඊට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියෝ ඊයේ (01දා ) දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
දහවල් එකට පමණ විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භ කෙරුණු මෙම උද්ඝෝෂණ පෙළපාළියේ පැමිණි පිරිස්, විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් මිහින්තලය අනුරාධපුර ප්‍රධාන මාර්ගයට පැමිණ එම මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වී, නැවත විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත ගොස් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට වී උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් මෙසේ පැවසීය.
“මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙ වගේම මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවෙත් සටන් කරන ශිෂ්‍ය ව්‍යාපාරවලට මර්දනයක් තිබෙනවා. පසුගිය 30 වනදා රාත්‍රියේ රජරට විශ්වවිද්‍යාලයේ විනය පාලක යැයි කියා ගන්නා දෙදෙනෙක් තවත් පිරිසක් සමග නේවාසිකාගාරවලට පැන්නා. ඔවුන් නේවාසිකාගාරවලට ඇතුළු වුණේ නිල ඇඳුමකින් නොවෙයි. ජැකට් දාගෙන අඳුරගන්න බැරි විදිහට, හිස් වැසුම් පැලඳගෙන, ශිෂ්‍යයන් ගේ කාමරවලට ගොස් ඡායාරූප ලබා ගත්තා. ඔවුන් මේ කරන්නේ මර්දනය. අපි දන්නවා මේ කරන්නේ මේ රටේ පාලකයන්ට ඕන දේ කියලා. එහෙම ඇතුළු වූ විගස විනය පාලකවරයා ඇතුළු පිරිස ශිෂ්‍යයන්ට පහරදී තිබුණා. මේ මර්දනයට එරෙහිව තමයි අද අපි මේ විදිහට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹුණේ” යැයි පැවසීය.
පැයකට ආසන්න කාලයක් උපකුලපතිවරයා ඇතුළු විශ්වවිද්‍යාල පාලනාධිකාරියට එරෙහිව විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ යෙදීමෙන් අනතුරුව පස්වරු 2.30ට පමණ උද්ඝෝෂකයන් විසිර ගියහ. මෙම උද්ඝෝෂණය සඳහා සිසු සිසුවියන් 1500කට ආසන්න පිරිසක් සහභාගිව සිටියහ.
අනුරාධපුර - බී.ජී. චතුරංග