'මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?' මැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ කිහිපයක් හෙට (18දා) දින නුගේගොඩ නගරයේදී පැවැත්වීමට නියමිත මහජන රැලියට සහභාගීවීමට බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයකගේ කැමැත්ත පළ වී තිබේ.
ඊයේ (16දා) සවස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට (ශ්‍රාවස්ති මන්දිරයට) රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නුගේගොඩ රැලිය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙන අතර, ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී සඳහන් කර ඇත්තේ එම රැලියට සහභාගී නොවීමට පක්ෂය තීරණයක් ගෙන තිබුණද හෘදසාක්ෂිය අනුව කටයුතු කිරීමට ඕනෑම මන්ත්‍රීවරයෙකුට අවස්ථාව තිබෙන බවයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගී වී තිබුණු අතර, ඔවුන් සියලු දෙනා අවසානයේ තීරණය කර ඇත්තේ නුගේගොඩ රැලියට සහභාගී වීම සුදුසු බවයි.
පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට ඊයේ රැස්වීමට ආරාධනා කර තිබුණද පළාත් අමාත්‍යවරුන් වන නිමල් ලාන්සා, ගාමිණී තිලකසිරි සහ මල්ෂා කුමාරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සෙනාල් වෙල්ගම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එයට සහභාගී නොවූ බව වාර්තා වේ.
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂක ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්කළ යුතු බවට ජනමතයක් ගොඩනැගීම වෙනුවෙන් සංවිධානය කරන මෙම රැලිය මගහැර යෑම උචිත නොවන බවත්, එසේ වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල හානියක් සිදුවීමට ඉඩ ඇති බවත් මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී තිබේ.
වත්මන් පක්ෂ නායකත්වය නුගේගොඩ රැලිය වර්ජනය කළද, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තම හෘදසාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමේ නිදහස තිබිය යුතු බවත්, ඒ අනුව කටයුතු කරන ලෙසත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
'මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?' මැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන මෙම රැලිය හෙට සවස 3.00 ට නුගේගොඩ නගරයේදී පැවැත්වීමට නියමිතය.