තමාට හෝ තමාගේ බිරිඳට හෝ දරුවන්ට කිසිදු විදේශීය බැංකුවක නීතිවිරෝධී, රහසිගත ගිණුම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
සැබැවින්ම එවැනි රහසිගත ගිණුම් තිබුණේ නම් ඒවායේ තොරතුරු හෙළිකිරීමට මෙතරම් කාලයක් ගත නොවන බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මෙවැනි අභූත චෝදනා එල්ල කරනුයේ තමාගේ පුතුන්ගේ භාවිතය සඳහා හෙලිකොප්ටර් මිලදීගෙන ඇති බවත්, ඔවුන්ට ඇමෙරිකාවේ බකිංහැම් මාලිගාවෙන් අශ්වයන් ගෙනැත් දී තිබෙන බවත් කියමින් රට වටේ ගිය අය විසින් බවද ඔහු පවසා සිටියි.
ඊයේ (19දා) නිකුත් කළ නිවේදනයකින් මේ බව සඳහන් කරන මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ, කිසිවෙකුගේ නමක් පැහැදිලිව සඳහන් නොකර ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමට අමතරව රහසිගතව නම් සඳහන් කරමින් වාචිකව ගෙන යන අවලාද ව්‍යාපාරයක්ද නිර්මාණය වී තිබෙන බවයි.
තමාට ඩොලර් බිලියන ගණන් සහිත රහසිගත බැංකු ගිණුම් තිබෙන බවට රජයේ ඉහළ පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ ඉකුත් දිනකදී පදනම් විරහිත චෝදනාවක් එල්ල කර තිබූ බවද රාජපක්ෂ මහතා පවසයි.
මීට සති කිහිපයකට පෙර කැබිනට් ප්‍රකාශකවරයා ලංකාවේ ප්‍රධාන පවුලක සාමාජිකයෙකුට ඩුබායිහි බැංකුවක ඩොලර් මිලියන 1064 ක් තිබෙන බවට රොයිටර් පුවත් සේවයට කියා තිබූ බවත්, සැඟවුණු මුදල් සෙවීම සඳහා ඇමෙරිකානු හා ඉන්දියානු මූල්‍ය ඔත්තු සේවාවන් උදව් දෙන බවටත්, සැඟවුණු මුදල් සෙවීමට සීෂෙල්ස් දූපත් බලා මෙරටින් විශේෂ කණ්ඩායමක් ගිය බවටත් ඉකුත් දිනවල වාර්තා පළ වූ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
මේ වකවානුවේදී ත්රස්තවාදීන්ට මුදල් සැපයීම, මුදල් විශුද්ධිකරණය වැනි කාරණා ගැන සුවිශේෂී අවධානයක් පවතින නිසා, ඩොලර් මිලියන ගණන් සහිත ගිණුම් අදාළ රටවල ජාත්‍යන්තර හා දේශීය නියාමකවරුන්ගේ අවධානයට ලක්නොවී ක්‍රියාත්මක කළ නොහැකි බව මූල්‍ය ක්ෂේත්රය ගැන අවබෝධයක් ඇති සියලු දෙනා දන්නා බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.