විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පරිසර සංවිධාන
ජාතික මංමාවත් පනත, අයාල ආඥාපනත හා පළාත් පාලන ආයතන නීතිරීති උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භකර සිදුකිරීම නිසා රටේ නීතිය හෑල්ලුවට ලක්වී පරිසර විනාශයක් සිදුවන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පරිසර සංවිධාන සඳහන් කරයි.
පළාත් පළාන ආයතන නීතිරීතිවලට අනුව මහ නගර සභා, ප්රා‘දේශීය සභා ආයතන සීමාව තුළ කටවුට් බැනර් සැරසිලි ප්රදර්ශනය කරනවා නම් ඒ පිළිබඳව පළාත් පාලන ආයතනය දැනුම්වත් කර අනුක්රමික අංකයක් යටතේ එය ප්රදර්ශනය කළ යුතු බවත්, ඒ සඳහා යම් මුදලක් ගෙවිය යුතු බවත් දේශපාලන පක්ෂ සඳහන් කරයි.
මීට අමතරව ජාතික මංමාවත් පනත යටතේ විදුලි කණුවල, දුරකථන කණුවල සහ වෙනත් ආධාරක මත ප්රදර්ශන පුවරු ප්රදර්ශනය කරනවා නම් එය සිදුකළ යුතු ආකාරය පිළිබඳව ප්රකාශ කර තිබෙන බවත්, එහෙත් ජනාධිපතිවරයාගේ ප්රචාරක කටයුතු සිදුකිරීමේදී එම නීති උල්ලංඝනය කරමින් කටයුතු සිදුකරන බවත් පළාත් පාලන ආයතන නියෝජිතයෝ සඳහන් කරති.
නීති උල්ලංඝනය කරමින් සිදුකරන ප්රචාරක කටයුතු ඉවත් කිරීමට පළාත් පාලන ආයතන ප්රධානීන්ට බලය තිබුණත් ප්රධානීන් ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන බවද එම පිරිස් පෙන්වා දෙති.
අයාල ආඥා පනතට අනුව අවසර නොමැතිව පෝස්ටර් ප්රදර්ශනය කිරීම කටවුට්, බැනර් ප්රදර්ශනය කිරීම නීතිවිරෝධී බවත්, මෙලෙස නීතිවිරෝධී ආකාරයට සිදුකරන පෝස්ටර්, බැනර් කටවුට් ඉවත් කිරීමට පළාත් පාලන ආයතනවලට සහ පොලීසියට බලය තිබෙන බවත් පරිසර සංවිධාන සඳහන් කරයි.
එහෙත් පොලීසිය, පළාත් පාලන ආයතන එම කටයුත්ත සිදුනොකරන බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
ලංකාව පුරා පිහිටි ලංගම ඩිපෝ 104 මගින් ධාවනය කරන සියලුම බස් රථවල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප ප්රදර්ශනය කිරීමට නියෝග ලැබී තිබෙන බවත්, මෙම නියෝගවලට අනුව සියලුම ලංගම බස් රථවල ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්රදර්ශනය කිරිමට සිදුව තිබෙන බවත් ලංගම වෘත්තීය සමිති සඳහන් කරයි.
මැතිවරණ නීතිරීතිවලට අනුව නීතිවිරෝධී ප්රචාරක පුවරු, සැරසිලි රාජ්ය ප්රවාහන සේවයේ ප්රදර්ශනය කරන නීතිවිරෝධි ප්රචාරක කටයුතු ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ඇතත් එම බලය මැතිවරණ දෙපාර්තමේන්තුවට හිමිවන්නේ නාමයෝජනා භාරගැනීම අවසන් වූ පසුවය.
ඡායාරූප - ඉසුරු පෙරේරා