පවතින නියං තත්ත්වය කෙතරම් බලපෑවද කිසිදු හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ලබන මස සිට රටවල් 4කින් ගෙන එන ලද සහල් බෙදා හැරීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කර සිටියේය.
වවුනියාව හා මන්නාරම් දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද සංචාරයන්ගෙන් පසු අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ජනාධිපතිතුමා හා අගමැතිතුමා විසින් දුන් උපදෙස් මත තීරණය කළා සහල් ආනයනය කරන්න. දැනට තායිලන්තය, ඉන්දියාව, පාකිස්තානය හා මියන්මාර් යන රටවල්වලින් සහල් ආනයනය කිරීමට පියවර අරගෙන තියෙනවා. එහෙම ආනයනය කරන ලද සහල් අගෝස්තු මාසයේ සිට සතොස හරහා වගේම තොග වෙළෙන්දන් හා සමුපකාර හරහාත් විකිණීමේ කටයුතු සිදුකරන්න පියවර අරගෙන තියෙනවා.
ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරිය හරහා සහල් පාලන මිලට වඩා වැඩි මිලට විකුණන වෙළෙඳ සැල් සොයා වැටලීම් සිදුකරනවා* යැයි පවසා සිටියේය.