විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අතුලු කණ්ඩායම ගහන පදය පරණ බවත්, ඒ බෙරය පැලී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එසේම දූෂණයට තවදුරටත් ඉඩ තබනවා ද, නැද්ද යන්න තීරණය කළ යුත්තේ ජනතාව බවත් ඔහු කීවේය.
මාතරදී ඊයේ (19දා) පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳව තමා කළ ප්‍රකාශයක් පිළිබඳව විපක්ෂනායක කළ අදහස් දැක්වීමට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් මම නීති තර්කයක් සහ ප්‍රශ්නයක් මතු කළා. මේ තීන්දුව ගැන ප්‍රශ්න කරන්නේ මන්දැයි විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා විමසනවා.
මම මතු කළේ නීති ප්‍රශ්ණයක් පමණක් වන අතර ඊට පිළිතුරු දිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් රැස්වුණාට පසුවයි. එහෙත් හොරකම වසා ගැනීම සඳහා මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ සමහර අයයි.
ශ්‍රී ලංකාවට ඇඟිලි ගසන්නැයි මම විදේශ රටවලින් ඉල්ලා සිටින බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටිනවා. මම කියා සිටියේ අපේ රටට විදේශ රටවල් ඇඟිලි ගැසිය යුතු බව නොව, අපේ යුතුකම් සහ වගකීම් අප ඉටු කළ යුතු බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ මතය විමසීම මගින් රටට ඇඟිලි ගැසීමට විදේශ බලවේගවලට ඉඩ සැලසීමක් සිදුවන්නේ නම් ඊට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත්, නිමල් සිරිපාල ද සිල්වා ඇතුලු එම කැබිනට් මණ්ඩලයයි.
නිමල් සිරිපාල ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකාව පොදු රජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වයෙන් ඉවත් විය යුතු බව ද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු ද? පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් එළැඹ ඇති මේ එකඟතා සහ කොන්දේසි ක්‍රියාත්මක නොකළ යුතුද? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමට නිමල් සිරිපාල ද සිල්වාට අවශ්‍ය නම් ඒ ගැන මට ප්‍රශ්නයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරනවා නම් සරත් ෆොන්සේකාව එදා ආරක්ෂා නොකළේ ඇයි?” යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.