නිදහස් සමාජයක් තුළ නව තාක්ෂණය සහ දැනුම භුක්ති විඳීම පිණිස ශ්‍රී ලාංකීය සමාජය කොතරම් දුරට සූදානම්ද යන්න පුළුල්ව සාකච්ඡාවකට බඳුන් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.
විශේෂයෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වදාල අවස්ථාවේ අන්තර්ජාලය ඔස්සේ එහිමියන්ට 'ඉතාමත් පහත් ලෙස අගෞරව කරන, නිග්‍රහ කරන' ප්‍රකාශ දක්නට ලැබුණු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය..
මේ තත්ත්වය තුළ 'තාක්ෂණික ඥානයත්, නිදහස වශයෙන් අපි හඳුන්වන නිදහස සමාජයේ ඇතැම් පිරිස් භුක්ති විඳින ආකාරයත්' උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දැඩි සමාලෝචනයකට ලක් විය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පවසා සිටියේ වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේදී ආරම්භ වූ 'උසස් අධ්‍යාපනයේ නව ප්රවණතා' දෙදින වැඩමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
නව තාක්ෂණය සහ භාෂණයේ නිදහස අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව තවත් උදාහරණයක් පෙන්වා දුන් ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව ආරම්භ වන දිනවල පළමු වැනි පැය සජීව දර්ශන සඳහා වෙනකර තිබෙන අතරවාරයේ මහජන නියෝජිතයන්ගේ හැසිරීමද ප්‍රබල අවධානයට භාජනය වී ඇති බව පෙන්වා දුන්නේය.
"රටේ ජනතාවට යහපත්, සුභවාදී පණිවිඩයක් ඥානාන්විතව ගෙනයාමට ඒ සජීව පැය කොතෙක් දුරට පාවිච්චි කරනවද කියන කාරණාව එය බලා සිටින ජනතාව තුළ සංවාදයක් බවට පත් වී තිබෙනවා" යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ තත්ත්වය තුළ නව තාක්ෂණය සහ නිදහස ඇතැම්විට රටේ සහ ජනතාවගේ අයහපත වෙනුවෙන් භාවිතවීම පිළිබඳව පූර්ණ සංවාදයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහන් ලාල් ග්‍රේරු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.