ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීම් ඇති කරනුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට බවත් පක්ෂය කැඩිමට තමන් කිසි විටෙක ඉඩ ලබා නොදෙන බවත් හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. ඊයේ (6දා) මාතර වැලිගම ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී ඔහු මෙම අදහස් දැක්වීය.
“ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ රටේ ප්‍රධානම දේශපාලන පක්ෂයයි. තවම කාටවත් දෙවැනි වුණේ නැහැ. නමුත් සමහරු දෙවැනි කරන්න, පහළට ඇදලා දාන්න උත්සහ ගන්නවා. රනිල් මහත්තයටයි ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය කඩන්න උවමනා, එතුමට නැත්නම් බලයට එන්න බැහැ. ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරන්න මේ පක්ෂය මොන තත්ත්වයේ තිබුණත් ඕනම ගැටලුවකට අපි එකමුතුව මුහුණ දෙමු.
අපි ඒකට නායකත්වය දෙනවා. මේ පක්ෂය හැල්ලු කරන තැනකට. වට්ටන තැනකට ගෙන්න මම කවදාවත් ඉඩ දෙන්නෙ නැහැ. මේ අලියා එලවන එක එච්චර අමාරු නෑ. මිට කලිනුත් අපි මේක කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපේ පක්ෂය ශක්තිමත් කිරිමයි”