කවුරු මොන උද්ඝෝෂණ කළත්, මොන තර්ජන දැම්මත් ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ යහපාලනය පවත්නාතුරු රටේ සෑම අස්සක් මුල්ලක් නෑර සිටිනා නැති බැරි පන්තියේ ජනතාවට බෙදාදීම් සිදුකරන බව සමෘද්ධි හා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සහන පොලියට ණය බෙදා දෙමින් යන්නේ අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීමට මිසක් මැතිවරණ ඉලක්ක කරගත් ඡන්ද අල්ලසක් ලෙස නොවන බව සඳහන් කරන ඇමතිවරයා තමාට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට ජනතාව මෙහෙයවන්නේ සමෘද්ධි ලාභියාගේ මුදල් කොල්ලකෑ සමෘද්ධි නිලධාරීන්ගේ අර්ථ සාධකයට තට්ටු කිරීමට සැලසුම් කළ හෙලිකොප්ටර්වලින් ගොස් රගර් ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයින් පිරිසක් විසින් බවද කියා සිටියේය.
අඟුණකොළ පැලැස්ස දික්වල පුරාණ රජමහා විහරයේ පැවැති උත්සවයකදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, "පොඩි මනුස්සයාට හිස ඔසවන්නට සියයට 4 පොලියට වසර 3 කින් ගෙවා නිම කිරීමට සජිත් ප්‍රේමදාස රුපියල් 100,000 ගණනේ ණය ලබාදෙන එක මේ පුයර බබාලාට, ලැක්ටෝජන් බබාලාට උහුලන්න බැහැ. මේ අය අද භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟගන්න පටන් අරගෙන තියෙනවා.
සජිත් ප්‍රේමදාස ඔය උද්ඝෝෂණවලට බය නෑ. කවුරු මොන තර්ජන දැම්මත්, මොන උද්ඝෝෂණ කළත් ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ යහපාලනය පවතින තුරු මේ සජිත් ප්‍රේමදාස රටේ අස්සක් මුල්ලක් නෑර සිටින නැතිබැරි පන්තියේ ජනතාවට බෙදීම නතර කරන්නේ නෑ. මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදෙන්න ප්‍රේමදාසගේ පුතා ලෑස්තියි. මා ඔවුන්ට කියන්නේ තව තවත් විරෝධතා පවත්වන්න, තව තවත් උද්ඝෝෂණය කරන්න, එසේ කරන තරමට අප මේ ජනතා සේවය තවත් ශක්තිමත් කරනවා" යනුවෙන් ප්‍රකාශ කළේය.