ඉන්දීය ධීවරයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කුඩා බෝට්ටු වල සිටි නාවිකයන් විසින් ඊයේ (6දා) රාත්‍රියේ වෙඩි තබන ලදැයි කෙරෙන චෝදනාව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පවවසන්නේ එය පදනම් විරහිත චෝදනාවක් බවයි.
නාවික හමුදාව උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාර කටයුතු සඳහා යොදාගන්නේ වේග ප්‍රහාරක යාත්‍රා සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා බවත් කිසිදු අවස්ථාවක නාවික මුර සංචාරක සඳහා කුඩා බෝට්ටු යොදා නොගන්නා බවද එම නිවේදනයේ දැක්වෙයි.
එසේම නාවික හමුදාධිපතිතුමාගේ පූර්ණ අවසරයකින් තොරව, නාවික යාත්‍රාවල රාජකාරී කරන නාවික පුද්ගලයින්ට වෙනත් යාත්‍රාවන්ට හෝ පුද්ගලයන්ට වෙඩි තැබීම සඳහා අවස්ථාවක් නොලැබෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වුවද, වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා පළවීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහි සත්‍ය, අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.