මීතොටමුල්ල නායයාමට ලක්වූ ප්‍රදේශය හරහා කුණු කන්ද සමීපයෙන් ගලාගිය ඇළ මාර්ගයෙහි බෑවුමේ සිදු වූ බුරුල් වීමක් හෝ කැඩී යාමක් හේතුවෙන් ඇතැම්විට කුණු කන්ද කඩාවැටීමකට ලක්වූයේ යැයි විශ්වාස කළ හැකි බවට භූ විද්‍යාඥ, සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පෙන්වා දෙයි.
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව විශාල වශයෙන් පහතට කඩාවැටීමට ලක් වූ පස පහළ ප්‍රදේශයේ ගොඩනැගිලිවල වැදීමෙන් නැවතී ඇති බවයි.
කෙසේ වුවද නිවැරදි හා විධිමත් තාක්ෂණයක් යටතේ අදාළ ප්‍රදේශයේ නිවාසවල අඩිතාලම් යොදා නොමැති බව දක්නට ලැබෙන බවත්, ඒ අනුව වඩා පහසුවෙන් නිවාස ගැලවී පහතට කඩාවැටී ඇති බව දක්නට ලැබෙන බවද හෙතෙම සඳහන් කරයි.
මහාචාර්යවරයා 'අද' වෙත මෙම අදහස් දක්වා සිටියේ මීතොටමුල්ල නාය යාමට ලක්වූ ප්‍රදේශයේ ඊයේ (18දා) උදෑසන පැය එකහමාරක පමණ කාලයක් තුළදී සිදුකළ මූලික අදියරේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවය.
හෙතෙම එහිදී ප්‍රකාශ කර සිටියේ, පැය එකහමාරක පමණ නිරීක්ෂණයකින් නායයාමට හේතූන් නිශ්චිතව පැවසිය නොහැකි අතර, කෙසේ වුවද මේ දක්වා සිදුකළ නිරීක්ෂණ මගින් තමන්ට ඉහත ප්‍රකාශ කරන ලද නිර්දේශ ඉදිරියේ කළ හැකි බවයි.
ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, සමාජීය හා භූගෝලීය ඇතුළු අනෙකුත් සියලු සාධකද සැලකිල්ලට ගෙන වැඩිදුරටත් ගවේෂණ සිදුකළ යුතු බවද මහාචාර්යවරයා පවසා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වා සිටි මහාචාර්ය කපිල දහනායක මහතා,
''නායයාමක් සිදු වෙන්න පුළුවන් ගස් නිසා, ගල් සහ පස් නිසා, පාෂාණ නිසා, පිහිටි පාෂාණ නිසා. මෙතන කුණු කන්දක් නාය ගිහින් තියෙන්නේ. උඩ ඉඳලා පල්ලෙහාට ගලාගෙන ගියාම අපි ඒකට නායයාමක් කියනවා. විවිධ අන්දමින් නායයාම් සිදුවෙන්න පුළුවන්. කුණු ගොඩේ බර නිසා අනිත් කොන්දේසිත් සපුරන්න වුණාම මේ පැත්තෙන් ගලාගෙන ගියා.
නැත්නම් ඇයි අනිත් පැතිවලින් නාය ගියේ නැත්තේ. මෙතන සමහරවිට ගම මැදින් ගලාගිය ඇළ කැඩිලා යන්න ඇති. මොකද පිහිටි ගලේ හදපු ගෙවල් වගේ මට පේන්නේ නැහැ ඒවා. ඉතිං ඒවා තල්ලු වෙලා ගිහින් තියෙනවා. එතකොට ඒවත් එක්ක ඉදිරියට තිබුණ ඒවත් රූට්ටලා ගිහින් තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ.
මම භූ විද්‍යාඥයෙක් ලෙසත් නායයාම් පිළිබඳ හදාරන කෙනෙක් ලෙසත් වසර 40ක අත්දැකීම් තියෙනවා. මට අවශ්‍ය වුණේ කුණු කන්ද නාය ගියේ කොහොමද යන්න හැදෑරීම සහ ජනතාව ඒ පිළිබඳ දැනුවත් කරන්න'' යැයි සඳහන් කළේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ