මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද (13දා) දහවල් 12.00 න් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි.
මේ නිසා අවසන් මොහොත වන තෙක් නොසිට නාමයෝජනා භාරදීමට සිටින පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා පත්‍ර භාරදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි.
අද 12.00 සිට 1.30 දක්වා කාලය තුළදී භාරදී තිබෙන නාමයෝජනා පත්රවලට විරෝධතා දැක්වීමේ කාලය ලෙස වෙන්කර තිබෙන බවත්, නාමයෝජනා භාරදීමට පැමිණෙන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පහසුව තකා නාමයෝජනා භාරගන්නා මධ්‍යස්ථානවලට අතිරේක නිලධාරීන් යොදවා සිටින බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේය.
මැතිවරණ නීතියට අනුව නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී සහ ඉන්පසුවත් රථ පෙළපාළි, යතුරුපැදි පෙළපාළි, පාගමන් පැවැත්වීම සපුරා තහනම් බවත්, මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙහි නීති උල්ලංඝනය කරන පිරිස් හඳුනාගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරන අවස්ථා ඡායාරූප සහ වීඩියෝ ගත කරන ලෙසට මැතිවරණ රාජකාරියේ යෙදවා සිටින නිලධාරීන්ට හා පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවත්, එම දර්ශන අධිකරණ ක්‍රියාමාර්ගයේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කරන බවත් මොහොමඩ් මහතා අවධාරණය කළේය.
නාමයෝජනා බාරදීම සිදුකරන අද (13දා) දිනයේ නාමයෝජනා භාරගන්නා සියලුම ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් අවශ්‍ය වුවහොත් විශේෂ කාර්ය බළකාය කැඳවීමට එම කණ්ඩායම සූදානමින් සිටින බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මැතිවරණ නීතියට අනුව රථ පෙළපාළි, පා පෙළපාළි යතුරුපැදි පෙළපාළි ඇතුළු අපේක්ෂකයන්ගේ ආධාරකරුවන්ට නීතිය හා සාමය කඩවන ආකාරයේ කටයුතු කිරීම සපුරා තහනම් බවත් එවැනි කටයුතු සිදුවුවහොත් ඒ සියලුමදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මැතිවරණ නීතියට අනුව කටයුතු නොකරන සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා තීරණය කර තිබෙන බවත් මේ පිළිබඳව පොලිස්පතිවරයා විසින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
සියලු ආරක්ෂක වැඩපිළිවෙළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන බවත් අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට විශේෂ කාර්ය බළකා භට කණ්ඩායම් කැඳවීමටත් අවසර ලබාදී තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.