එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැතිවරණයට අදාළ නාමයෝජනා සැකසීම පිළිබඳව කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැති බවත්, කවුරුන් නාමයෝජනා අත්සන් කළද අවසානයේ ඒවා වෙනස්වීමට හැකියාව තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලබාදීම පිළිබඳව සන්ධානයේ ආණ්ඩු පාර්ශ්වයේ තීරණය ඊයේ (09දා) ජනාධිපතිවරයාට ලබාදුන් බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ කිහිපදෙනෙකුගේ නම් නාමයෝජනා සඳහා ඇතුළත්ව නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාරගැනීම හරහා ජනාධිපතිවරයා එක් අතකට අමාරුවේ වැටුණු බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් නාමයෝජනා සම්බන්ධ අවසන් තීන්දුව සමග විශාල ප්‍රශ්නයක් ඇතිවන බවත්, දේශපාලනයේ සිටිනවාද? ගෙදර යනවාද කියා තීරණය කිරීමට සිදුවන බවත් රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
තමා මුහුණදෙන අර්බුදකාරීම මැතිවරණය මෙය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
“අපි ජනාධිපතිතුමාට අපේ පාර්ශ්වයේ යෝජනා භාරදුන්නා. මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ කිසිකෙනෙකුට නාමයෝජනා ලබාදෙන්න එපා කියලා, දිස්ත්‍රික්කවලට තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි කිව්වා. මේ සම්බන්ධයෙන් සාධාරණ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
අපේ තීරණවලට සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණොත් මම වෙනම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවනවා.
යහපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවා කියලා ජනාධිපතිවරයා මාතරදී ප්‍රකාශයක් කරලා තිබෙනවා. නාමයෝජනා අත්සන් කරන්න, වෙනස් කරන්න පුළුවන්නේ. නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් කිසිම අවසන් තීරණයක් නැහැ. නාමයෝජනා අවසන් ලැයිස්තුව ජනාධිපතිතුමා අනුමත කරන්න ඕන. නමුත් අර්බුදකාරී තත්ත්වයක් උදානොවේවි කියා මම විශ්වාස කරනවා. නමුත් බලාපොරොත්තු කඩවෙන්නත් පුළුවන්* යැයි පැවසීය.