කැලි කසල, වාහන තදබදය, දුගියන්ගෙන් තොර පිරිසිදු නගරයක් බවට පත් කර මේ රට සුහුරු සුමට රටක් බවට පත් කරන්න කැපවිය යුතුබව මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
ඒ මහතා මේ බව පැවසූයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සමස්ථ සේවක සේවිකාවන් පළමුවරට හමු වූ අවස්ථාවේදීයි. මෙහිදී අමාත්‍යවරයා නව රජයේ අරමුණු, සැලසුම් හා මූලික අභිලාශයන් පිළිබඳ සේවක සේවිකාවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා, ”නාගරික සංවර්ධනය නව යුගයකට පිවිස ඇති මොහොතක නාගරික සංවර්ධන අධිකාරියේ සියළු දෙනා එක පවුලක් ලෙස සූදානම් විය යුතු අවස්ථාවක්. මෙම ආයතනය අප රටේ ප්‍රධාන පෙලේ ආයතනයක් මෙන්ම බැබලෙන ආයතනයක් බවට පත් කරන්නට සියළු දෙනාම එක් විය යුතුයි. පසුගිය කාල පරිච්ෙඡ්දයේ විවිධ ආණ්ඩු යටතේ විවිධ ඇමතිවරු යටතේ විශාල වැඩ කොටසක් නාගරික සංවර්ධනය වෙනුවෙන් සිදු කරලා තියෙනවා. නමුත් අද අප ඉදිරියේ තිබෙන අභියෝගය ජය ගන්න නම් මීට වඩා බලගතු වැඩකොටසක් සිදු කල යුතුයි. පසුගිය කාලය තුළ අපි සතුටට පත්වුණා රටතුළ සිදුවෙච්ච නගර අලංකරණ කටයුතු නිසා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය අතීතයේදී කළ කාර්ය භාර්යය ගැන. ඒ අනුව අපි දැනගත යුතු දෙයක් තිබෙනවා. පසුගිය සමයේ අපි අතින් සිදුවෙච්ච අඩු පාඩු මොනවද කියලා. මෙහිදි අපි එකක් අවබෝධ කර ගන්න ඕනේ. ජනතාවගේ කැමැත්තෙන් තොරව මොනම හොඳ වැඩක්වත් කරන්න බැහැ. ඕනෑම සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේදී ජන සහභාගීත්වය අත්‍යවශ්‍යයි. ජන සහභාගීත්වය තිබුණොත් තමයි සැලසුම්කරණයත් සාර්ථක වෙන්නේ.
ඒ වගේම අපිට විශාල වැඩකොටසක් ඉදිරි කාලයේදී පැවරිලා තියෙනවා. එම වැඩකොටස වාස්තු විද්‍යාත්මක, ඉංජිනේරුමය වැඩකොටසක් පමණක් නෙමෙයි. එම වැඩකොටස විශාල සමාජ ආර්ථක පෙරළියක පෙර ගමන් කරුවන් ලෙස කරන වැඩ කොටසක්. එනිසා අපට සෑම සමාජ ක්ෂෙත්රයකම අත් දැකීම් ලබා ගත යුතුයි. දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග අපට ගැටෙන්න සිදු වෙනවා. ඒ වගේම කාර්යක්ෂම මහජන සේවයක් ලබාදීමට අපි සියළු දෙනා කැප විය යුතුයි. යැයි පැවසීය