ශ්‍රී ලංකාවේ විසඳීමට නොහැකි ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික, පරිපාලනමය සහ ආකල්පමය ගැටලු සහිත නාගරික අපද්‍රව්‍ය කළමනාකරණයේ බාධකයට තිරසාර නිවැරදි ක්‍රමවේදයක් කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා පීඨයේ පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය එම්.ජී. කුලරත්න, ආචාර්ය හේමන්ත ප්‍රේමරත්න යන මහත්වරු ඇතුළු විද්වත් මණ්ඩලය පෙන්වා දෙති.
ජපානයේ උසස් තාක්ෂණයෙන් පෝෂිත පාරිසරික ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය මගින් ස්වාභාවික අපද්‍රව්‍ය දිරාපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීම හා ජීව තාක්ෂණ ක්‍රමවේදය මගින් එක් දිනකින් කාබනික පොහොර බවට පත්කිරීමේ හැකියාව පවතින බව ඔවුහු පෙන්වා දෙති.
මෙම ප්‍රතිචක්‍රීය පද්ධතිය ජපානයේ ක්‍රියාත්මක වන අතර, ඉන් දිනකට අපද්‍රව්‍ය ටොන් පනහක් පමණ පැය 24ක් වැනි කෙටි කාලයකදී ප්‍රතිචක්‍රීකරණය කරයි. මෙම ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය සඳහා රුපියල් මිලියන තිහක් පමණ වැය වන බවට ගණන් බලා තිබේ.
පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ, කොළඹ නාගරික අපද්‍රව්‍ය මුතුරාජවෙලට බැහැර කිරීමෙන් සිදුවන පාරිසරික විනාශයේ අනිටු ප්‍රතිඵල වළක්වා ගැනීමට හැකි මෙය වඩාත් ඵලදායී විසඳුමක් බවත්, උසස් තත්ත්වයේ ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනය තුළින් බෝග වගාවන්, සත්ත්ව හා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කළ හැකි බවත්ය.
මෙම ක්‍රමය තුළින් සියලුම භූමි සම්පත් රැකගෙන කුණු කඳු සම්පතක් කර ගැනීමට හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන්නේය.
රොඩ්නි වර්ණකුලසූරිය මහතාගේ ආරාධනයෙන් පමුණුගම මුතුරාජවෙල රක්ෂිතයේ පැවැති 'සුරම්‍ය රාත්‍රී' නමැති ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී එම පර්යේෂණ කණ්ඩායම මෙම කරුණු අනාවරණය කළේය.
පේරාදෙණිය - සෙනරත් බණ්ඩාර