නව ප්‍රවාහන ඇමතිවරයෙකු යටතේ බස් කර්මාන්තය දියුණු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන්නේ මධ්‍යම රජය යටතේ පවතින බස් රථ 4500 කට අධික ප්‍රමාණයකට පමණක් බවත්, පළාත් සභා යටතේ ධාවනය වන බස් රථ 16,000 කට තවමත් ක්‍රියාත්මක කෙරන්නේ පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඊයේ (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ, නව ආණ්ඩුවේ සැලසුම්වලට අනුව මගී ජනතාවට ලබාදෙන සහන හා බස් හිමියන්ට ලබාදෙන සහන මේ හේතුවෙන් පළාත් සභා යටතේ බස් රථ ධාවනය කරන බස් හිමියන්ට සහ මගීන්ට නොලැබෙන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනය යටතේ පවතින පළාත් සභාවල තවමත් ක්‍රියාත්මක කරන්නේ ඔවුන් මීට පෙර සකසා ගත් සැලසුම්වලට අනුව බවද ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ යම් යම් ක්‍රියාකාරකම් පවා පසුගිය ආණ්ඩුවේ නීතිවිරෝධී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන බවත්, මේ අනුව මැතිවරණ සමයේදී ලබාදුන් මාර්ග බලපත්‍ර අවලංගු කරන ලෙසට කොමිසමට අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නත් මෙතෙක් එම උපදෙස් ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා සියලුම බස් රථ පාලනය මධ්‍යම රජය යටතට පවරාගෙන, එකම ප්‍රතිපත්තියක් යටතේ බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන ලෙස එම සංගමය නව ප්‍රවාහන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.