සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව 21 වැනි මහනායක හිමිපාණන් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා අද (08දා) අස්ගිරි පාර්ශ්වයේ ඓතිහාසික පෝය මළුවේදී කාරක මහා සංඝ සභාව රැස්වීමට නියමිතය.
අස්ගිරි පාර්ශ්වයේ හිටපු මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ අපවත් වීම හේතුවෙන් අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරය පුරප්පාඩු වූ අතර, අද පැවැත්වීමට නියමිත අභිනව මහනායක හිමිපාණන් වහන්සේ තෝරාගැනීම සඳහා වන කාරක මහා සංඝ සභාව බොහෝවිට ඡන්දයක් දක්වා යන ලකුණු පෙනෙන්නට ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අස්ගිරි පාර්ශ්වයේ වත්මන් අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමියන් මහනායක ධුරය සඳහා ඉදිරිපත් වී සිටින අතර, එම ධුරය ලබාගැනීම සඳහා තවත් පාර්ශ්වයක් ඉදිරිපත් වන ලකුණු පහළ වී ඇතැයිද වාර්තා වේ.
යම් හෙයකින් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියන් මහනායක ධුරයට තේරී පත්වුවහොත් ඉන් පුරප්පාඩු වන අනුනායක ධුරය සඳහා හිමිනමක් තෝරාගැනීමද එම අවස්ථාවේදීම සිදුවන අතර, ඒ සඳහාද පාර්ශව 02 ක් ඉදිරිපත් වීමේ පෙරමං සලකුණු පහළ වී ඇති බැවින් එයද කාරක මහා සංඝ සභා ඡන්දයක් දක්වා යන ලකුණු පහළ වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.