ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යළි රාජකාරි සඳහා කැඳවනු ලැබූ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (29දා) සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.
අගවිනිසුරුවරියගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වන අගවිනිසුරු තනතුර සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ පිළිබඳව අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ලබන බවත් 'අද' ට වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වසර දෙකක කාලයකට පසු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයට කැඳවනු ලැබීමෙන් අනතුරුව ඊයේ (28දා) පස්වරුවේ යළි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි ආචාර්ය බණ්ඩාරනායක මහත්මියව නීතීඥවරු මහත් හරසරින් පිළිගත්හ.
ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු නිල මැදිරියට ගිය ඇය යළි අගවිනිසුරු ධුරයේ වැඩ භාරගත් අතර, ඇය අද (29දා) දිනයේ චාරිත්‍රානුකූල නික්ම යෑමේ උත්සවයක් පවත්වා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත බව නීති ක්ෂේත්‍ර‘යේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයකින් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බව පවසමින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරුවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අතර, එම පත්කිරීම නීතිවිරෝධී බව පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්රමුඛ නීතිඥවරු ඊයේ (28දා) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයකද නිතර වූහ.
නීතීඥවරුන් එලෙස විරෝධතාවේ නිතර වුවද අගවිනිසුරු මොහාන් පීරිස් මහතා රාජකාරි සඳහා ඊයේ පැමිණ සිටියේ නැත.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යළි රජකාරි ආරම්භ කරන ලෙසට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට හා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්‍යනුකූල ලෙස සිදුවී නොමැති බවට මොහාන් පීරිස් මහතාට යවන ලද ලිපි දෙකේ පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියට ලැබෙන්නට සැලැස්වීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් මෙම ලිපිවලට අත්සන් කර තිබිණි.
2013 ජනවාරි 11 වැනිදා අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයක් මගින් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කළද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව විසින් ඇය අගවිනිසුරු ධුරයෙන් නෙරපා හරින ලෙසට යෝජනාවක් සම්මත කර නොමැති හෙයින් ඇය අගවිනිසුරු ධුරයෙන් නීත්‍යනුකූල ලෙස ඉවත්කර නොමැති බව එම ලිපිවල සඳහන් කර තිබුණි.
අගවිනිසුරු ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය නීත්‍යනුකූල ලෙස අගවිනිසුරු ධුරයෙන් ඉවත් නොකොට මොහාන් පීරිස් මහතා එම ධුරයට පත්කිරීම බලශූන්‍ය ක්‍රියාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිගමනය කර ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
මේ අනුව අගවිනිසුරු ධුරයේ රාජකාරි යළි ආරම්භ කරන ලෙස බණ්ඩාරනායක මහත්මියට ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද ලිපියේ සඳහන්ව තිබිණි. මෙම ලිපි ලැබීමෙන් සුළු වේලාවකට පසු අගවිනිසුරු ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වෙත පැමිණි අතර, රැස්ව සිටි නීතිඥවරු ඇතුළු පිරිස රතිඤ්ඤා දල්වමින්, ඔල්වරසන් දෙමින් මහත් හරසරින් ඇය පිළිගත්හ.
අනතුරුව සිය නිලමැදිරිය වෙත ගිය බණ්ඩාරනායක මහත්මිය සිය ධුරයේ කටයුතු ආරම්භ කළාය.
මතුව ඇති තත්ත්වය පිළිබඳව මොහාන් පීරිස් මහතාගේ මතය විමසීම සඳහා ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පසුගිය දිනෙක පෙනී සිටි නීතිඥ විජයරත්න කොඩිප්පිලි මහතා දුරකථනයෙන් සම්බන්ධකරගත් අතර, මෙම තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වන ලෙස මොහාන් පීරිස් මහතා මේ වනතෙක් තමන්ට කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ඔහු පැවසීය.
බුද්ධිමාල් රුබේරු/ ලක්මාල් සුරියගොඩ