ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත ධීවර යාත්‍රා ගොඩබිම සිට නිරීක්ෂණය කළ හැකි ට්‍රාන්ස්පොන්ඩර් නැමැති උපකරණය සියලුම ධීවර යාත්‍රාවලට ලබාදීම හෙට (26දා) සිට අරඹන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම උපකරණය මගින් අදාළ ධීවර යාත්‍රාව මුහුදේ කිනම් තැනක ධීවර කටයුතුවල නිරතවන්නේද යන්න සොයා බැලිය හැකි අතර, එම යාත්‍රාවල ගමන්ගන්නා ධීවර කාර්මිකයන්ට කිසියම් ආපදාවක් සිදුවන්නේ නම් ඔවුන් ඉන් මුදාගැනීමටද මෙම උපකරණ ඔස්සේ හැකියාව ලැබේ.
විශේෂයෙන් ජාත්‍යන්තර සාගර නීතිය අනුව බහුදින ධීවර යාත්‍රාවලට මෙම නවීන උපකරණ හා පහසුකම් ලබාදිය යුතුය. ඒ අනුව රජය විසින් විශාල මුදලක් වැයකරමින් මෙම උපකරණ ධීවර යාත්‍රාවලට ලබාදී තිබේ.
ඒ අනුව මෙහි සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.00ට දික්ඕවිට ධීවර වරායේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර, මෙම පහසුකම සියලුම ධීවර වරායන් ඔස්සේ ධීවර යාත්‍රාවන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.