තමිල්නාඩු ධීවරයන් පැහැරගැනීම සහ අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව යළි ආරම්භ කර ඇති බවට මහඇමතිනී ජයලලිතා ඉන්දීය අගමැතිවරයාට පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.
දින 45ක් පුරා තහනම් කර තිබූ ධීවර කර්මාන්තයේ යෙදීම ඉරිදා යළි ආරම්භ කිරීමත් සමගම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන් 33නෙකු සහ ඔවුන්ගේ බෝට්ටු 7ක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය විරෝධය එම ලිපියෙන් ජයලලිතා පළ කර ඇති බව කියැවෙයි.
එහිදී ඇය පෙන්වා දී තිබෙන්නේ, පැහැරගැනීම් සහ අත්අඩංගුවට ගැනීම් යළි සිදුවීම ගැන තමිල්නාඩු ධීවර ප්‍රජාව මහත් කම්පනයට පත්ව සිටින බවය.
පෝක් සමුද්‍ර සන්ධියේ සිය ජීවිකාවේ නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට ඓතිහාසික අයිතියක් ඇති බව අවධාරණය කරන ජයලලිතා, ශ්‍රී ලංකා බලධාරීන් එම අයිතියට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැති මන්මෝහන් සිං ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමණය කළ බවටච මෙහි චෝදනා නඟා ඇත.
මේ නිසා, ශ්‍රී ලංකා නාවික හමුදාව යළිත් තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරයක් පළ කරන මෙන් මහ ඇමතිනිය, අගමැති මෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ තමිල්නාඩු ධීවරයන්ගේ මේ සංවේදී ප්‍රශ්නයෙ විසඳීම පිණිස තීරණාත්මක පියවර ගැනීමට ඉන්දියාවේ නව රජය කටයුතු කරනු ඇති බවට ජනතාව තුළ පැහැදිලි විශ්වාසයක් ඇති බවය.
මේ අතර, ඉරිදා අත්අඩංගුවට ගැනුණු ධීවරයන් ඉතා ඉක්මණින්ම නිදහස් කරගැනීමට මැදිහත් වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙන ලෙසද මහ ඇමතිනිය එම ලිපියෙන් මෝදි වෙත දන්වා තිබේ.