ගුරු අධ්‍යාපන සේවය තුළ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නිලධාරීන් 1092 ක් බඳවාගැනීමට සැලසුම් කර තිබියදී දේශපාලන හිතවත්කම්මත 68 දෙනෙකු අධ්‍යාපන සේවයට ඇතුළත් කිරීමට වර්තමාන ආණ්ඩුව සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ගුරු ශිෂ්‍යයන්ට දැනුම ලබාදී මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන අධ්‍යාපන සේවයට බඳවාගැනීමේදී පළමු පන්ති උපාධි සාමාර්ථ, පශ්චාත් උපාධි පාඨමාලා සහ අධ්‍යාපන සේවයේ උන්නතිය සඳහා සිදු කර තිබෙන පර්යේෂණ සැලකිල්ලට ගන්නා බව එම සංගමයේ ලේකම් පූජ්‍ය දමන සුගත ධම්ම හිමියෝ අවධාරණය කළහ.මීට අමතරව බඳවාගැනීමට විධිමත් සම්මුඛ පරීක්ෂණයක්ද පවත්වන බව උන්වහන්සේ සඳහන් කළය.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19 ක, ගුරුවිදුහල් 08 ක, ගුරුමධ්යස්ථාන 108 ක සේවා කටයුතු සඳහා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් 2089 ක් සිටිය යුතු බවද සුගත ධම්ම හිමියෝ පවසා සිටියහ.
එහෙත් වර්තමානයේ සේවයේ යෙදී සිටින්නේ නිලධාරීන් 700කට ආසන්න ප්‍රමාණයක් බවත්, මේ නිසා නව සේවා ව්‍යවස්ථාවට අනුව 1092 දෙනෙකු බඳවාගැනීමට සැලසුම් කර තිබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
මෙසේ බඳවාගැනීමට සැලසුම් කර තිබියදී අධ්‍යාපන සේවය තුළ දේශපාලන අසාධාරණකම් සිදු වූ බවට පවසමින් 68 දෙනෙකු ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවාගැනීමට සැලසුම් කර ඇතැයිද ඒ හිමියෝ සඳහන් කර සිටියහ.
එහෙත් ගුරු අධ්‍යාපනඥ සේවා ඉතිහාසයේ කිසි දිනක %දේශපාලන අසාධාරණකම්^යන සාධකය මත බඳවාගෙන නොමැති බවත්, එවැනි කටයුතු සිදු නොකරන්නේ රටේ ජනතාවගේ අනාගතය සකස් කරන ගුරුවරුන් සකස් කිරීම සඳහා ඒ පිළිබඳ දැනුමක් සහිත පිරිසකගේ සේවය අවශ්‍ය නිසා බවත් උන්වහන්සේ අවධාරණය කළහ.