තම පියාණන් වන රෙජී රණතුංග මහතා ජීවත්ව සිටින තෙක් ඔහු ගැන අවධානය යොමු නොකළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලන වාසි තකා තම පියාගේ මරණය යොදාගත් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ගම්පහ උඩුගම්පොළදී පැවැති රෙජී රණතුංග 81 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මහින්ද රාපක්ෂ මැතිතුමා ජීවත්ව සිටිනතාක් කල් අපේ තාත්තා ගැන බැලුවේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැරෙන්න දුන්නේ. එහෙම තත්ත්වයක අපේ තාත්තාගේ මිනී වළටවත් ගරු කිරීම ගැන මම සතුටුවනවා. නමුත් පක්ෂය ගැන විශාල කැපකිරීමක් කළ මිනිස්සු අගය කරන්න ඕන මැරුණට පස්සේ නෙමෙයි. දේශපාලන වාසි තකා මැරුණු මිනිස්සු විකුණගෙන කන්න හොඳ නැහැ. එය මම හෙළා දකිනවා. නමුත් එකපැත්තකින් එතුමාට දැන් හරි ඇස් ඇරිලා තියෙන එක ගැන මම සතුටු වෙනවා.
අපේ තාත්තා ජීවත්වෙන කොට පවුල කඩන්න කාටවත් දුන්නේ නැහැ. තාත්තා නැතිවුණාට පස්සේ සමහර දේශපාලඥයන් එය සිදු කරනවා. එක එක පවුල් මරවලා කොටවලා හරි තමන්ට දේශපාලන වාසි ලබාගන්න මේ අය උත්සාහ කරනවා. කාවහරි විකුණගෙන දේශපාලනය කරනවා. එය එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. ඒ අය අපේ සහෝදරකම නැති කරන්න හරියට උත්සාහ කරනවා.
රණතුංග පවුල කියන්නේ බණ්ඩාරනායකවරුන්ට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනික වශයෙන් ශක්තිමත්ම පවුල. ඒ පවුල කඩන කොට තමයි ඔවුන්ට වාසි. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමයි. එක් අතකින් අද අපේ තාත්තා නැති වුණු එක හොඳයි. නැතිනම් මේවා දැකලා තමයි තාත්තට නැති වෙන්න වෙන්නේ. අපේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා කරගනිමින් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගිය කෙනෙක්.
කවදාවත් පක්ෂය දාලා ගියෙත් නැහැ. අපේ තාත්තා හොකරම් කළ දේශපාලඥයෙක් නෙමෙයි. එතුමා ඔය කියන දේශපාලඥයන්ට ආදර්ශයක්. ඔය දේශපාලඥයන් අපේ පවුල කඩන්න හැදුවට දේශපාලනය නිසා අපේ පවුලේ අසමගියක් නැහැ. එක එක්කෙනාගේ දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් තියෙන්නේ. මම රට වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක්. ප්‍රසන්න මල්ලිගේ දේශපාලන ක්‍රමය වෙනස් ක්‍රමයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිඳගනියි එකතැන” යැයි පවසා සිටියේය.