දීර්ඝ කාලයක් තරුණ, ශිෂ්‍ය, කාන්තා, වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය දේශපාලනයේ නිරතව සිටි අත්දැකීම් සහ දේශපාලන විනයක් සහිත පුද්ගලයන්ට නාමයෝජනා නොදෙන පක්ෂ තම නාමයෝජනා 'ලිංගික සංකේත' වලින් පුරවමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.
දීර්ඝ කාලයක් තම පක්ෂ ව්‍යුහය ශක්තිමත් කළ, තම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දරදිය ඇද්ද පුද්ගලයන් පසෙකලා, නවක ජනප්‍රිය තරු සඳහා නාමයෝජනා ලබාදෙන්නට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පෙළගැසෙමින් තිබෙන බවත්, පක්ෂ මාරු කරමින් කරණම් ගසන්නන් බුලත්දී පක්ෂයට බඳවාගන්නා මේ උදවිය තමන්ගේ ජීවිතයේ හොඳම කාලය පක්ෂය වෙනුවෙන් කැපකළ තරුණ තරුණියන්ගේ දේශපාලන අනාගතය විනාශ කර දමන බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
නාමයෝජනා ලබාදීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ආරම්භ කොට ඇති බවත්, දීර්ඝ කාලයක් ශිෂ්‍ය, තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රවල නියමුවන් වෙමින් පක්ෂ වෙත දරදිය ඇදි පුද්ගලයන් විශාල පිරිසක් කැපීගොස් ඔවුන් වෙනුවට 'ලිංගික සංකේත' වලට නාමයෝජනා ලැබෙමින් තිබෙන බවත් කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ දැඩි අවධානයක් යොමුවී තිබේ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කිසිදු දේශපාලන පරිචයක් නොමැති නිළියන්, රූප සුන්දරියන්ගෙන් සිය නාමයෝජනා පුරවමින් ඇත්තේ දීර්ඝ කාලයක් පක්ෂ දේශපාලනයේ නිරත වුණු, දේශපාලන දැනුම, විනය සහ පරිචයක් සහිත ක්‍රියාකාරී කාන්තාවන් ඉවත දමමිනි. ජනප්‍රිය රැල්ලේ දේශපාලනයට පැමිණි කාන්තා චරිත පක්ෂ මාරැකිරීම පමණක් නොව ප්‍රාදේශීය දේශපාලනඥයන් සමග ගැටුම් ඇති කරගනිමින් නියෝජිත ප්රජාතන්ත්රවාදය විහිලුවක් බවට පත්කොට ඇත්තේය.
දේශපාලන විනයක් නොමැති මහජන නියෝජිතයෝ, ප්‍රාදේශීය හෝ ජාතික දේශපාලනයේ මහජන නියෝජිතයන් විසින් පවත්වාගත යුතු 'සමාජ තත්ත්වය' විනාශ කරමින් සිටිති.
"පළාත් සභා මැතිවරණය ජාතික දේශපාලනය සඳහා පිවිසීමේ දොරටුව බවට පත් වී ඇති පරිසරයක මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තම ඡන්ද ගොඩ වැඩි කරගැනීම සඳහා බාල ජනප්‍රියත්වය වැලඳගැනීම තුළ තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රවල දක්ෂයන්ට හිමිවිය යුතු ඉඩකඩ වසාදැමීම කනගාටුදායකය. දිගු කලක් ප්‍රාදේශීය දේශපාලනයේ නිරත පිරිස් නොතකා හරින තත්ත්වයක් මේ තුළ මතුව තිබේ. 'ලිංගික සංකේත' ඉදිරියට දමා ජනප්‍රිය දේශපාලනයේ නිරතවනු වෙනුවට, ප්‍රතිපත්තිගරුක දේශපාලන පරිචයක් සහිත අපේෂකයන් වෙත නාමයෝජනා ලබාදීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසද කැෆේ සංවිධානය සිය නිවේදනයෙන් මෙරට සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත විවෘතව ආයාචනා කරයි.