ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කෙරෙන ජන සංහාරයට වගකිවයුත්තන්ට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන මෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ (03දා) දිල්ලි අගනුවරදී අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී ඔහු වෙත සංදේශයක් භාරදෙමින් මහ ඇමතිවරිය එම ඉල්ලීම කර ඇති බව පැවසෙයි.
දෙමළ ඊළාම් වෙනම රාජ්‍යයක් පිහිටුවීම පිණිස ශ්‍රී ලංකාවේ සහ විදේශගතව වෙසෙන දෙමළ ජාතිකයන්ගේ මතය විමසන ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට වගන්තියක්ද එම යෝජනාවට ඇතුලත් කරන මෙන් මහ ඇමතිනිය ඉල්ලා ඇති බව පැවසෙයි.
ජයලලිතා අගමැති මෝදි වෙත භාරදුන් පිටු 64කින් යුතු සංදේශයේ කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට පවරා ගෙන ඉන්දීය ධීවරයින්ගේ පාරම්පරික අයිතිය ආරක්ෂා කිරීමේ යෝජනාවක්ද ඇතුළත් බව කියයි.
ශ්‍රී ලංකාව සම්බන්ධ කාරණාවලට අමතරව, තමිල්නාඩුවට අදාළ ගංගා ජලය බෙදා ගැනීමේ ගැටළුව සහ මුහුදු ජල පවිත්‍රකරණය, අධ්‍යාපනය, ගමනාගමන වැනි ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඇතුළු ඉල්ලීම්ද එම සංදේශයට ඇතුලත් බව පැවසෙයි.
ජයලලිතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ ආකාරයේ ඉල්ලීම් ඉන්දීය රජයන් වෙත ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. ඇය මීට පෙර කොංග්රස් ආණ්ඩුව වෙතද මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කොට තිබුණි.