අරණායක, තල්ගස්පිටිය දෙණියතැන්න පුරාණ රජමහ විහාරස්ථානයේ අවාස ගෙය තුළ අද (03දා) හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම ආවාස ගෙයි කාමරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හෙම්මාතගම පොලීසිය පවසයි.
එම විහාරාධිපති ශාස්ත්‍රපති නුවරගල නාලක හිමිපාණන් වහන්සේ සිය රාජකාරි කටයුතු සිදු කරන පාසල වෙත සහ විහාරස්ථානයේ වැඩ වාසය කරන සෙසු ස්වාමීන් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය සඳහා වැඩම කර තිබූ අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇත.
වසා තිබූ අවාස ගෙය තුළින් එකවර දුමාරයක් අහසට නැගෙන අයුරු එම අවාස ගෙය පිහිටි ස්ථානයට මදක් නුදුරින් ජීවත් වන 81 හැවිරිදි පුද්ගලයෙකු දැක ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමෙන් පසු ගින්න මැඬපවත්වා තිබේ.
උදෑසන දහයත්, එකොළහත් අතර කාලය තුළ මෙම ගින්න ඇතිවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ගින්නෙන් අවාස ගෙයි කාමරයක තිබූ පොත්පත්, අටපිරිකර සිවුරු හා දැවමය භාණ්ඩ රැසක් විනාශ වී ඇත.
මේ අතර, විහාරස්ථානයේ කුඩා සාමනේර හිමිනම රතිඤ්ඤා පත්තු කිරීමට හඳුන් කූරක් රැගෙන යන අයුරු ප්‍රදේශයේ කිහිප දෙනෙකු දැක ඇති අතර, එය උන්වහන්සේ විසින් කාමරය තුළ දමා යෑමෙන් ගින්න හටගෙන ඇත්ද, එසේත් නැතහොත් විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇත්ද යන්න අනාවරණය කර ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මාවනැල්ල - හෙම්මාතගම විජය බංඩාර