දුම්රිය මැදිරි 200ක් අලුත්වැඩියා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ පහසුකම් හා සේවකයන් සිටියදී රුපියල් බිලියන දෙකක මුදලක් වැයකරමින් පෞද්ගලික සමාගමකට ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වන බවට වාර්තාවේ.
දුම්රිය මැදිරිවල රෝද සවිකර ඇති බොගිය නම් යට කොටස දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් අලුත්වැඩියා කළ යුතු බවත්, මැදිරිවල ඉහළ කොටස් පමණක් මෙම පෞද්ගලික සමාගම විසින් සිදුකළ යුතු බවත් නිලධාරින් විසින් දන්වා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය ඒ මහතා ප්‍රකාශ කළේය.
රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ සේවකයන්ට මැදිරිවල ඉහළ කොටස් නිමකිරීමට හැකියාව තිබෙන බැවින් එය ලබා දෙන්නැයි ඉල්ලා සිටියද බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, මීට පෙර දුම්රිය මැදිරි අලුත්වැඩියා කර නැති මෙරට ක්‍රියාත්මක කන්ට්‍රි නමැති පෞද්ගලික සමාගමට මේ සඳහා අනුමැතිය ලබාදී තිබෙන බැවින් දුම්රිය සේවකයන්ගේ විරෝධය පළවී තිබෙන බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
වසරක් ඇතුළත මෙම අලුත්වැඩියාව සිදුකළ යුතු බවටත්, රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව මගින් එය සිදුකළහොත් කල්යන බවටත් දුම්රිය නිලධාරීන් තීරණය කර ඇතැයි පැවසූ නදීර මනෝජ් මහතා, එක් මැදිරියක් අළුත්වැඩියාවට රුපියල් මිලියන 10 බැගින් වැයවන සේ පෞද්ගලික සමාගමට මෙම ව්‍යාපෘතිය බාරදුන්නද රුපියල් මිලියන 6ක් පමණ වැයකර අවශ්‍ය කාලය තුළ නිමකිරීමට දුම්රිය සේවකයන්ට හැකියාව තිබෙන බවද පවසා සිටියේය.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමේදී එක් මැදිරියක අලුත්වැඩියාව සඳහා අවශ්‍ය භාණ්ඩ සඳහා රුපියල් මිලියන 5ක්ද, සේවකයන්ට අතිකාල සඳහා රුපියල් මිලියනයක්ද වැයවන බව පැවසූ ප්‍රධාන ලේකම්වරයා, දෙපාර්තමේන්තුවේ මුදල් අනවශ්‍ය අයුරින් වැයකර පෞද්ගලික සමාගමකට ලාභ උපයාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය උත්සාහ දරමින් සිටින බවට චෝදනා කළේය.
දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන දුම්රිය මැදිරි 700ක් අතරින් සෑම මාසයකම අලුත්වැඩියා කිරීම සඳහා මැදිරි 30ක් රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව වෙත ගෙන එන බවත්, සෑම මාසකම මැදිරි 30ක් නිමවුම වශයෙන් ඉන් පිටතට ගෙන යන බවත් ඒ මහතා කියා සිටියේය.