දුම්පානයෙන් ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමණ වාර්ෂිකව මිය යන අතර, ඔවුන්ගෙන් 5% ක් සෘජු ලෙස දුම් පානය නොකරන (අප්‍රාණික දුම්පානය) හේතුවෙන් මිය යන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා සඳහන්කර සිටින්නේ දුම්පානය අවම කිරීමට දුම්කොළ වගාව අවම කර ගොවීන් සඳහා විකල්ප වගාවන් හඳුන්වාදිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර ඇති බැවින් ඒ අනුව ඒ සඳහා සැලැස්මක් සකස් කිරීමට සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කරන බවයි.
කෙසේවුවද දුම්කොළ වගාව අවම කිරීම සඳහා රජය විසින් පසුගියදා ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දුම්කොළ වගා කර ඇති හෙක්ටයාර 2500ක පමණ ප්‍රමාණය, හෙක්ටයාර 300කින් අඩුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
දුම්කොළ වගා කරනු ලබන රටවල් සඳහා විකල්ප ක්‍රම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික ගොවි ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් කොළඹදී පැවති අතර, එහිදී සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
ඒ මහතා එහිදී සඳහන් කර සිටියේ උතුරුමැද, උතුර සහ ඌව යන පළාත් තුළ ජනතාව වැඩි වශයෙන් දුම්කොළ වගා කරන බවත්, ඔවුන් සඳහා විකල්ප වගාවන් හඳුන්වා දිය යුතු බවත්ය.
ඒ අනුව දුම්කොළ වගාව අවම කරමින් සෝයා, කෙසෙල්, ගම්මිරිස් වැනි වගාවන් කෙරෙහි ගොවීන් යොමුකිරීම සඳහා මේ වනවිට සමීක්ෂණයක්ද ආරම්භකර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේය.