තණ්හාව නැති පවුල් පෝෂණය කරන්නේ නැති අවංක මනුස්සයෙකු ජනාධිපතිකම සඳහා සෙවීම ජනතාව විසින් සහ මාධ්‍ය විසින් සිදුකළ යුතු යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (03දා) කැකිරාව ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් සඳහන් කළේය.
අතීතයේ රජවරුන් සෙවීම සඳහා ඇතුන් සංචාරය කොට රජකමට සුදුසු කෙනා ඉදිරියේ ඇතුන් දණ ගැසූ බවත්, වර්තමානයේ රජෙකු සෙවීම සඳහා ඇතෙකු යවන්නේ නම් ඔවුන් ඇතාගේ දළ දෙක කපාගෙන, වලිගයේ ඇති මයිල් ගස් ගලවන බවත් ඔහු සඳහන් කෙළේය.
අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් ලබාගත් පාර්ලිමේන්තුවේ සිටින 118 දෙනා වහාම ස්වයං විවේචනය කරමින් ඉදිරිපත් විය යුතු බවත්, එසේ නොමැති නම් 225 දෙනාම ප්‍රකාශයක් කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලීසියේ හයසියයක් පමණ නිලධාරීන් අමු අමුවේ ඝාතනය වූ තිරුක්කෝවිල් ප්‍රදේශයේ තමන් පොලීසිය වෙනුවෙන් ස්මාරකයක් සකසන බවද, ඒ පිළිබඳ පොලිස්පතිවරයාට වසරකට පෙර දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් ඇතත් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත්, ලොන්ඩරි වලට ඇඳුම් දමා පිරිසුදු කරනවා මෙන් මිනිසුන් පිරිසුදු කිරීමට නොහැකි බවත් කී ඒ මහතා, රාජපක්ෂවරුන්, බණ්ඩාරනායකවරුන්, මෛත්රීපාලවරුන් පමණක් නොව රට, ජාතිය පිළිබඳ කැක්කුමක් ඇති සියලු ජාතීන්ට බොරු කියන්නේ නැති, ආදරය කරන සියලු ආගම්වලට ආදරය කරන හොඳ පිරිසක් ඒකරාශී වී ජනාධිපතිකමට පුද්ගලයෙකු තෝරාගත යුතු බවත් තමන්ද එම ස්ථානයේ සිටින බවත් සඳහන් කළේය.
මෙරට සියයට හැත්තෑ දෙකක් බෞද්ධයන් සිටිය දී සියලු නායකයන් බොරු පවසමින් උතුරු ප්‍රදේශයේ ජනතාව රවටන බවද සඳහන් කළේය.
මෙයාකාරයෙන් 72%ක් වන බෞද්ධ ජනතාවට බොරු ප්‍රකාශ කරමින් වෙනත් ගමනක් යන්නේ නම් එදා දුටුගැමුණු රජු නැවැත්වූ තැනින් නැවත රට ආරම්භ කිරීමට තමන්ට සිදුවන බවද ඒ මහතා කියා සිටියේය.