සෞදි අරාබියේ සිට දිවයිනට පැමිණෙමින් සිටි ශ්රී ලාංකික කාන්තාවක් ගුවන් යානය තුළදී හදිසියේ මියගොස් ඇතැයි කටුනායක ගුවන්තොටුපල බලධාරීන් පවසයි.
ඒ අනුව මියගිය කාන්තාවගේ මෘත ශරීරය රැගත් කුවේට් ගුවන්සේවයට අයත් කේ.යූ.- 361 ගුවන් යානයයෙන් අද (07දා) අලුයම 04.55ට දිවයිනට ළඟාවූ බව ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් හෂාබ් සම්ෂා බෙගම් නැමැති (55) වියැති තුන්දරු මවක් වන අතර ඇය පදිංචිව සිට ඇත්තේ පන්නල, ඇලබඩගම බව කටුනායක ගුවන්තොටුපල සඳහන් කරයි.
මෙම කාන්තාව සෞදි ගෘහ සේවයේ යෙදී සිටි කාන්තාවක් බවත් ඇයගේ ස්වාමිපුරුෂයාද විදෙස්ගතව සිටින බවත් අනාවරණය වී ඇතැයි ගුවන් තොටුපල බලධාරීන් පවසයි.
මේ අනුව එම කාන්තාවගේ මෘත ශරීරය මේ වන විට මීගමුව මහරෝහලේ තැන්පත් කර ඇති බව ගුවන්තොටුපල බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.