ත්‍රස්ත විමර්ශන ඒකකය ලබාගත් තමාගේ ජංගම දුරකථනය මෙතෙක් ලබානොදුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද (17දා) පැවසීය.
තමාගේ පෞද්ගලික තොරතුරු රාශියක් එම දුරකථනයේ සටහන්ව තිබෙන බැවින් දෛනික කටයුතු කරගෙන යෑමේදී ගැටලු මතුවී තිබෙනබවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගියදා මහනුවරදී ඇතිවූ සිද්ධිය පිළිබඳ විමර්ශන පැවැත්වීම සඳහා ජංගම දුරකථනය රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නාතුරු තමාට ලබාදිය නොහැකියැයි නිලධාරීන් පැවසූ බවද ඔහු කීය.
ත්‍රස්තවාදියෙකු නොවන තමන් මහනුවර සිද්ධියේදී මැදිහත් වූයේ ජනතාව වෙනුවෙන් වගකීමක් දරන නිසා බවත්,අදාළ සිද්ධිය මැඬපැවැත්වීම සඳහා රාවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන් යන ඇමතිවරුන් දෙදෙනා පමණක් තමන්ගේ සහායට සිටි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා,
“මහනුවර සිද්ධිය සමනය කරන්න මැදිහත්වුණු මන්ත්‍රීවරයා මම බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රාවුෆ් හකීම් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිගත්තා.මම ත්‍රස්ත විමර්ශනය ඒකකයට ප්‍රකාශයක් දෙන්න යනකොට එතුමා මට කිව්වා ප්‍රකාශය එතුමාගේ නමින් සටහන් කරන්න,එහෙම නැත්නම් ඕනෑ නම් එතුමාගෙන් ප්‍රකාශයක් ගන්න කියලා.මම ඒක ත්රස්තවිමර්ශන ඒකකයේ සටහන් කරලා තියෙනවා.රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මට කතාකරලා ස්තුති කළා.මුස්ලිම් නායකයන් එසේ කියද්දී ආණ්ඩුවට,පොලීසියට පාලනය කරන්න බැරිවුණු සිද්ධියක් අප පිටපැටවීමට උත්සාහ කරමින් ඉන්නවා.
මේවනවිට මගේ පෞද්ගලික දුරකථනය ඒ අය භාරයේ තියෙන්නේ.මගේ සියලු පෞද්ගලික සියලු තොරතුරු එහි තියෙන්නේ.බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු එම දුරකථනයේ තියෙන්නේ.මම දුරකථනය ඉල්ලුවාම රජයේ රස පරීක්ෂකට දානවා කියනවා.රජයේ රස පරීක්ෂකට අපේ දුරකථනය දාලා බලන්න තරම් අපි ත්රස්තවාදියොද?ප්රභාකරන්නද? අපි එහෙම ක්‍රියාවලට සම්බන්ධ නැති නිසා,පරීක්ෂා කළාට ප්‍රශ්නයක් නැති නිසා මම ඒක දීලා ආවා" යනුවෙන් පවසා සිටියේය.