ලංකාව තුළ සිදුවන රිය අනතුරුවලින් දිනකට පුද්ගලයන් 08 - 09 අතර ප්‍රමාණයක් මියයන බවත්, එම සංඛ්‍යාවෙන් එක් අයෙකු ළමයෙකු බවත් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
රිය අනතුරුවලින් මියයන සහ තුවාල ලබන දරුවන් වෙනුවෙන් යම් වන්දි මුදලක් ලබාදීමට ළමා කැපකරු භාරකාර ක්‍රමයක් ඇති කරන බවත්, ඒ යටතේ අනතුරට පත්වන දරුවාගේ පාසල් අධ්‍යාපන කටයුතු නිම වනතුරු මාසිකව නිශ්චිත මුදලක් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තුන්වැනි වරටත් පවත්වනු ලබන ලෝක ළමා මාර්ග ආරක්ෂක සතියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ සිදුකරන වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ රට තුළ සිදුවන මාර්ග අනතුරු අවම කරමින් ශ්‍රී ලංකාවාසීන්ට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ලබාදීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවක් ස්ථාපිත කර තිබෙන බවයි.
මේ යටතේ මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අමතරව හඳුනානොගත් වාහනවලින් සිදුවන අනතුරු නිසා විපතට පත්වන ජනතාවට මුදල් ආධාර ලබාදීම සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව පාසල් යන වයසේ දරුවන් සිටින දෙමාපියන්ගෙන් පවුලේ ආදායම උපයන්නා අනතුරකට ලක්වුවහොත්, එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද නිශ්චිත මුදලක් ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එලෙස ලබාදෙන නිශ්චිත මුදල සියලුම ලිපිලේඛන පරීක්ෂා කිරීමෙන් පසු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් තීරණය කරනු ඇතැයිද ඔහු පවසා සිටියේය.
තවද රිය අනතුරු ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරන්නන්ගේ රිය බලපත්‍ර සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා හඳුන්වා දී ඇති ලකුණු ක්‍රමය මාස 06 ක් තුළ ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම උපකරණ සෑම පොලිස් ස්ථානයකටම ලබාදෙන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.