-
දරුවා සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන මගේ ඇත්තේ ප්‍රසාදයක්
-
-
අපි කොහොමද දන්නේ පාර්ලිමේන්තුවෙ ඒඩ්ස් රෝගීන් කීයක් ඉන්නවද කියලා.
අපි දන්නෙ නෑනේ.
පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වූ කුලියාපිටියේ අසාධාරණයට ලක්වූ දරුවා හමුවීමට තමන් ගියේ එම දරුවා සම්බන්ධයෙන් මෙන්ම ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන්ද ජනතාවගේ මෙන්ම දේශපාලඥයන්ගේද හිත්වල ඇති වැරදි මත බිඳදැමීමට බව සමාජ සවිබල ගන්වීමේ සහ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
මේ දරුවාට පාසලක් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත්, අවශ්‍ය නම් මේ දරුවා ඒඩ්ස් රෝගියෙකු නොවන බව පෙන්වීමට ඔහුගෙන් ලබාගත් ලේ සාම්පලයක් තමන්ට එන්නත් කර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තුවේ කී දෙනෙකුට ඒඩ්ස් තිබේදැයි අප නොදන්නා බවත්, එවැන්නෙකු හමුවුවහොත් ඔවුන් පාර්ලිමේන්තුවෙන් එළවා දමන්නේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'මේ දරුවා හමුවෙන්න එන්න කියලා මට ආරාධනයක් ආවාම මම ජනාධිපතිතුමා දැනුවත් කළා. එතුමා කිව්වෙ දරුවෙක්නෙ ගිහින් බලලා පුළුවන් උදව්වක් කරන්න කියලා. ඇත්තෙන්ම ජනාධිපතිතුමා මගේ දුරකථන ඇමතුමට පිළිතුරු දීලා ජනතාව සහ ජනමාධ්‍ය ඉදිරියේදී පොරොන්දුවක් දුන්නා. දැන් ජනාධිපතිතුමා පොරොන්දුව දී ඇති නිසා ඒ දරුවාට සාධාරණයක් වෙනවා.
මට නම් ඔය මිථ්‍යාවන්ට රැවටෙන්න බෑ. හුළඟින්, කෙළවලින් රෝගය බෝ නොවෙන බව මම දන්නවා. මම ඒ ගැන ඉගෙනගෙන තිෙයනවා. මේ දරුවට රෝගය නෑ කියලා තහවුරු කරලා හමාරයි. ඒත් සැක නම් මම කැමැතියි මේ දරුවාගෙ රුධිර සාම්පලයක් මට එන්නත් කරගෙන පෙන්වන්න. අපි මීට වඩා බුද්ධිමත් විය යුතුයි. අනිත් එක ඒඩ්ස් රෝගීන් හිටියා කියලා අපට මරලා දාන්න බෑනේ. හොඳයි මෙහෙම හිතමුකෝ. මේක මගේ ප්‍රධාන තර්කය. අපි කොහොමද දන්නේ පාර්ලිමේන්තුවෙ රෝගීන් කීයක් ඉන්නවද කියලා. අපි දන්නෙ නෑනේ. මේ කවුරුත් එච්.අයි.වී. වාර්තා දීලා නෑනෙ. අපි හිතමු එහෙම කෙනෙක් පාර්ලිමේන්තුවෙ හිටියා කියලා. අපිට එයාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? අපි එයාව ආදරයෙන් බලාගන්න බැඳිලා ඉන්නවා.
මේ දරුවාට ඒඩ්ස් නෑ. ඒ වාර්තාව මම දැක්කා. මේවා බොරු බිය. මේ දරුවාට පිටරටකින් ශිෂ්‍යත්වයක් ලැබෙන්න යන තත්ත්වයක් තිබුණා. එහෙත් එය සිදුවුණා නම් ලංකාවේ තත්ත්වය ඉවරයි. ලෝකයෙ සියලු දෙනා අපි ගෝත්‍රිකයො කියලා හිතයි. ලංකාවෙ හොඳ පාසලකුයි හොඳ නිවසකුයි මේ දරුවට ලැබෙනවා. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් පොරොන්දුවක් දීලා ඉවරයි. මේ වනවිට මොළය ඇති බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් මේ දරුවට උදව් කරන්න ලෑස්තියි කියලා අපට දන්වලා තිබෙනවා* යැයිද පැවසීය.
දරුවාගේ සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණු බවත්, මේ දරුවාට ඉන් හානියක් වූ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා,
&මේ දරුවා සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන නම් මගේ ඇත්තේ ප්‍රසාදයක්. එහෙම වුණේ නැත්නම් අපි දන්නෙ නෑ මේ දරුව ගැන. ඒ ගැන නම් මට කිසිදු ප්‍රශ්නයක් නෑ. මාධ්‍ය කිව්ව නිසා තමයි මමත් එතැනට ගියේ. ජනාධිපතිතුමා පවා මේ දරුවා ගැන අවධානය යොමුකළේ ඒ නිසයි. වෙන්න ගිය වැරැද්දක් නිවැරදි වුණේ ඒ නිසයි.' යනුවෙන්ද පවසා සිටයේය.