වසර 20ක පමණ කාලයක සිට දඹුලු රාජමහා විහාරයේ විහාරාධිපති හා භාරකාරත්වය විසින් විදේශීය සංචාරකයන්ගෙන් අයකරන ලද ඇතුළත් වීමේ ගාස්තු රුපියල් කෝටි 750 - 1095 අතර මුදලක් අවභාවිත කර ඇතැයි යන චෝදනාව මුළුමනින්ම අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවක් බව මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් ඩී.එම්. පරාක්‍රම ජයවර්ධන මහතා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත පසුගියදා (27දා) ලිඛිතව දැනුම්දී තිබේ.
මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාදෙමින් පාර්ශ්වයන් කිහිපයක් දඹුල්ල රාජමහා විහාර හිටපු භාරකාරත්වයට හා විහාරාධිපතීත්වයට චෝදනා කරමින් පරීක්ෂණ පැවැත්විය යුතු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබිණි.
එමෙන්ම ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ තිබීම නිසා ලෝක උරුමයෙන් ඉවත්වන බවටද මත පළකරමින් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන ගොස් තිබූ අතර, ඒ අනුව පරීක්ෂා කළ මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් ඩී.එම්. පරාක්‍රම ජයවර්ධන මහතා ලිඛිතව පවසා ඇත්තේ එම කාලය තුළ දඹුල්ල රාජමහා විහාරයේ වාර්ෂික හා අර්ධ වාර්ෂිකව අයවැය වාර්තා නිසි ලෙස තම දෙපාර්තමේන්තුවට ඒවා ඇති බවත්, රන්ගිරි දඹුලු රාජමහා විහාරස්ථානයේ පරිපාලනය හා ආදායම් එක්රැස් කරගැනීමේ හා වියදම් කිරීමේ නෛතික බලය විහාරාධිපති හා භාරකාරතත්වයට හිමිවන අතර, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට විහාර හා දේවාලගම් පනත යටතේ පාලනය වන සිද්ධස්ථානවලින් මුදල් අයකිරීමට බලයක් නොමැති බවත්ය.
රංගිරි දඹුලු රාජමහා විහාරය පසුගිය 20 වසරක කාලයක් තුළ භාරකාරත්වය දැරුවේ ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසිනි. ඒ අස්ගිරි පාර්ශ්වයේ එවකට වැඩවිසූ මහානායක අපවත්වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් විසින් ලිඛිත පැවරීමක් මතය. උන් වහන්සේගේ අපවත් වීමත් සමග අභිනව එම ධුරයට පත්වූ වර්තමාන මහනාහිමියෝ දඹුලු විහාරයේ භාරකාරත්වය අබගස්වැවේ රාහුල හිමියන්ට පවරා විහාරාධිපතීත්වයට ගොඩගම මංගල නාහිමියන් පත්කළහ.
එවකට විදේශීය සංචාරකයන්ගේ ඇතුළු වීමේ ගාස්තු හා විහාර දේපොළ ආදායම් එවකට භාරකාරත්වය විසින් අයකරනු ලැබීය. වර්තමානයේ එම මුදල් වර්තමාන භාරකාරත්වය විසින් අයකරනු ලැබේ.