රජයේ රක්ෂිතයක බොරළු කැපී යැයි චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරව සිටි දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා මේ මස 14 දින දක්වා නැවත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා අද (30දා) දින නියෝග කළේය.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු බන්ධනාගාර බස් රථයෙන් දඹුල්ල අධිකරණයට රැගෙන විත් තිබිණි. දඹුල්ල ප්‍රදේශයේ ජනතාව අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ රෝහණ කුමාර දිසානායක මහතා ද ජාලිය ඕපාත මහතාගේ සහයෝගයට අධිකරණ භූමියට පැමිණ සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි සිය නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා පතල් හා භූ විද්‍යා අංශවල වාර්තා අනුව එම ස්ථානයේ බොරළු කපා ඇත්තේ, වසර කීපයකට ඉහත දී බව අනාවරණය වන බව අධිකරණයට දැන්වීය.
එම අවස්ථාවට එක් වූ හිටපු නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවසුවේ දේශපාලනය කිරීම තුළින් මෙවැනි දේ සිදුවන බවත් ලබන මැතිවරණයෙන් පසු මේ සියල්ල සමථයකට පත්වන බවත්ය.