බස් රථ සේවක වර්ජනයක් 09 දා?
මගී බස් රථ රියදුරන් සිදුකරන දඩ කොළ ලබාදීමට හැකි වැරදිවලදී දඩ කොළ ලබානොදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය ගෙන ඇති අත්තනෝමතික තීරණයට එරෙහිව අද (05දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය. මෙම ක්රියාමාර්ගයට එරෙහිව බස් රථ සේවකයන් ලබන 09 වැනිදා සිදුකිරීමට සැලසුම් කර තිබෙන වැඩවර්ජනයට තම සංගමය පූර්ණ සහයෝගය දක්වන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.
බස් රථ සේවකයන්ගේ එකමුතුව සඳහන් කරන්නේ පොලීසිය සඳහන් කරන ආකාරයට බස් රථ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ මාර්ග ශ්රී ලංකාව තුළ නොමැති බවයි.
සුළු වැරැද්දකදී බස් රථ සේවකයන්ට දඩ කොළයක් ලබානොදී අධිකරණයට ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බවත්, මේ නිසා 09 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බවත් ලංකා පෞද්ගලික මගී ප්රවාහන සේවක සංගමය සඳහන් කරයි.