දකුණු පළාත් සභාවේ කටයුතු කරගෙන යෑමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම සභාවේ කටයුතු අඩාල කිරීමට කටයුතු කළහොත් පළාත් සභාව විසුරුවා හරින බවට තීන්දුවක් ගෙන ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේ වුවහොත් දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා වෙත ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීන්දු කර ඇතැයිද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පැවසුවේ මෙවැන්නකි.
"එකාබද්ධ විපක්ෂයේ සුළුතරයක් වූ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පළාත් සභාව කෝලන්මඩුවක් බවට පත්කර ගෙන තියෙනවා. එය දකුණේ ජනතාවට කරන අගෞරවයක්. මේ විදියට ගියහොත් පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කොට ඉදිරියේදී දකුණු පළාත් සභාව සම්බන්දයෙන් දැඩි තීන්දුව ගැනීමට සිදුවනවා.
දකුණු පළාත් සභාවේ පාලන බලය එ.ජ.නි. සන්ධානයට ලබා දුන්නේ වසර පහක කාලයකට. නමුත් 2015 වර්ෂයේ ඇති වූ දේශපාලන පෙරළියත් සමග අපේ මන්ත්‍රී කණ්ඩායමක් මතවාදීව වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. ඉතා සුළුතරයක් වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු මාධ්‍යවල අවධානය දිනා ගැනීම සඳහා පළාත් සභාවට ඇවිත් එක එක දේවල් කරනවා. එය දකුණේ ජනතාවට කරන අගෞරවයක්. පළාත් සභාව කෝලන් මඩුවක් බවට පත් කරන්න ඉඩ දෙන්න බැහැ.
දකුණු පළාත් සභාවේ වත්මන් තත්ත්වය ගැන ජනාධිපතිතුමා මගෙන් ඇසුවා. පළාත් සභාවේ දැනට ඇතිවී තිබෙන තත්ත්වය ගැන මම ජනාධිපතිතුමාව දැනුවත් කළා. පළාත් සභාවේ නිල කාලය අවසන් වෙන්න තව වසර දෙකක් තියෙනවා. ඒ කාලය අවසන් වනතෙක් පළාත් සභාව පවත්වාගෙන යන්න මා උපරිම උත්සාහ කරනවා. එහෙම නැතිවුණොත් පක්ෂයේ නායකයා විසින් වෙනත් ක්‍රියාමාර්ගවලට යාවි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ පක්ෂයේ නායකයා මෙන්ම විධායක ජනාධිපතිතුමා බව අමතක කරන්න එපා. ඒ නිසා පක්ෂයේ නායකයා ගනු ලබන ඕනෑම තීන්දුවකට මගේ සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා'' යනුවෙන් සඳහන් කර සිටියේය.