දකුණේ වර්ධනය වී ඇති ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය පිළිබඳ නිසි පරිදි ජනතාව දැනුම්වත් කර පාලනය කිරීමට පියවර නොගතහොත් රෝගය රටපුරා පැතිරී ජීවිත හානිවීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ නිලධාරීන් අද (26දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.
ඒහි දී අදහස් දැක්වූ එම ශාඛාවේ ලේකම් වෛද්‍ය කංචිත සමරරත්න මහතා පවසන්නේ ඉන්ෆ්ලුවන්සා රෝගයට ගොදුරුවූ රෝගීන් කරාපිටිය රෝහලට පැමිණීම අඩුවී වී ඇතත් රෝගය පැතිරීම අඩුවී හෝ මර්ධනය වී ඇතැයි අර්ථකථනය කිරීම වරදක් බවයි.
''දැන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරුවූ පුද්ගලයන් කරාපිටිය රෝහලට පැමිණීම අඩුවෙමින් තිබෙනවා. නමුත් ඒකට හේතුව රෝගය පැතිරීමේ අඩුවක් නොවෙයි. මාධ්‍ය මගින් මේ රෝගය ගැන විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒ ප්රචාරයේ හොඳ සහ නරක දෙකම තිබෙවනවා. රෝගය ගැන භියට පත්වූ අය බොහෝ අවස්ථාවල දී රජයේ රෝහලට නොපැමිණ පෞද්ගලික රෝහල්වලට යන බව පෙනෙන්න තිබෙනවා. මේ වනවිට ගාල්ලේ පෞද්ගලික රෝහල් මේ රෝගීන්ගෙන් පිරිලා. "
වෛද්‍යවරුන් පවසන්නේ මේ රෝගය 2017 අග භාගයේ හා 2018 මුල් මාස කිහිපයේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමෙරිකා ඒක්සත් ජනපදය යන රටවල සෘතුමය වශයෙන් පැතිරගියි බවයි. කෙසේ වෙතත් රෝගය ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වී ඇත්තේ මිරිස්ස වැලිගම ප්‍රදේශයෙන් බවත්, විදේශිකයකුගෙන් පැතිරීම ආරම්භවන්නට ඇති බවත් වෛද්‍යවරු සැක පළ කරති.
මෙම රෝගය සම්බන්ධයේන රජයේ අවධානය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව ද ඒ පිළිබඳ මීට වඩා දැඩි අවධානයක් යොමු කර ළමා දැඩි සත්කාර ඒකක වඩාත් පහසුකම්වලින් පරිපූර්ණ කිරීම, කරාපිටිය ඇතුළු රෝහල්වල විශේෂ ඒකකවල රෝගීන් රඳවා තැබීම ආදී පියවර ගැනීම, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීම, වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට හැකි ඉක්මණින් ඉන්ෆ්ලුවන්සා 2018 එන්නත ලබාදීම, ජනතාව නිසි පරිදි දැනුම්වත් කිරීම ආදී පියවර ගත යුතුයැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරීන් පවසයි.