දකුණ පළාත් සභාවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඉවත් කිරීමට එරෙහිව අද (26දා) පැවැති දකුණු පළාත් සභාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාව පළකර සභාවෙන් පිටව යෑම හේතුවෙන් දකුණු පළාත් සභා සැසිවාරය මිනිත්තු 90කට සීමාවිය.
සභාව ආරම්භ කිරීමත් සමග හිටපු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර, එම ප්‍රකාශය සිදුකර අවසන් වනවාත් සමගම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වීරසුමන අමාත්‍යවරයාගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය. විනාඩි කිහිපයක් සභාව තුළ විරෝධතාවයේ නිරත වු ඔවුහු පසුව සභාවෙන් ඉවත් වූහ.
සභාවේ ඉතුරු වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා වූ කපිල දිසානයක මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉවත් වීමත් සමග සභාවේ ඝනපූර්ණය නොමැති බැවින් සභාව කල්දමන ලෙස ඉල්ලා සිටියේය. අනතුරුව සභාපතිවරයා විසින් දෙවතාවක් සීනුව නාද කිරීමෙන් පසුව දකුණු පළාත් සභාවේ ඝනපූර්ණය වන මන්ත්‍රීවරුන් 19 දෙනා සෑදුණේ ගණපුර්ණය නොමැති බව පැවසූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කපිල දිසානායක මහතාද සමගිනි.
සභාවෙන් මදකට පිටතට ගිය එජාප මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් රඳවා තබාගැනීම නිසා ඔවුන්ට සභාවට පැමිණීමට යම් කාලයක් ගතවිය. කෙසේ හෝ දෙවරක් සීනුව නාද කිරීමෙන් පසු ඔවුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් මිදී සභාවට පැමිණි අතර, ඒ අනුව මන්ත්‍රීවරුන් ගණන 19 දක්වා ඉහළ ගියේය.පසුව සභාව නැවත ආරම්භ වූ අතර ඒ අවස්ථාවේදී කපිල දිසානායක මන්ත්‍රීවරයා නැගිට සභාවෙන් ඉවත් විය.
එසේ නැවත දකුණු පළාත් සභාව ආරම්භ වුවද න්‍යාය පත්‍රය අනුව සභාවේ අදහස් දැක්වීමට සිටි සියලු මන්ත්‍රීවරුන් ඉවත්ව ගොස් සිටි බැවින් මද වේලාවකින් න්‍යාය පත්‍රය අවසන් විය. ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් නැගිට ගොස් විනාඩි 10ක පමණ කාලයකින් පසුව දිනට නියමිත න්‍යාය පත්‍රය අවසන් වීම හේතුවෙන් දකුණු පළාත් සභාව ලබන මස 10 වැනිදා දක්වා කල් තබන ලදී.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්