තේ හා රබර් සඳහා මිලියන 1000ක් ලබා දී අවසන්
දින 100 යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය දුන් පොරොන්දු ඉෂ්ට කරමින් තේ සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සහතික මිලක් ලබාදුන් බවත්, පසුගිය මස තේ සඳහා පමණක් රුපියල් මිලියන 600ක්ද, රබර් සඳහා රුපියල් මිලියන 400ක්ද ලබාදුන් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
එසේම වතු කම්කරුවන්ට පර්චස් හතක ඉඩම් ලබාදීම යටතේ ප්‍රථම වරට ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලද බවත්, එම ඉඩම්වල නිවාස සෑදීම යටතේ ඉන්දීය රජය නිවාස විසිදහසක් ඉදිකර දීමට පොරොන්දු වී ඇති බවත් අමාත්‍යවරයා ඊයේ (06දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
පසුගිය රජය සමයේ පොහොර සහනාධාර ලබාදීම මැතිවරණ තුරුම්පුවක් බවට පත්කර ගත් නමුත් පසුව බාල හා විෂ රසායන සහිත පොහොර ගෙන්වූ බවත්, ඉන් වකුගඩු රෝග ඇති වූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ නියම ප්‍රමිතිය සහිත පොහොර ලබාදීමට අවශ්‍ය කටයුතු සලස්වා දී ඇති බවයි.
දුන් මූලික පොරොන්දුවලට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත්, රාජ්‍ය වැවිලි සංස්ථාවටත් අයත් වතු කම්කරුවන්ට වසර දහයක කාලයක් පුරා නොගෙවූ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම සඳහා රුපියල් මිලියන දෙදහසකට ආසන්න මුදලක් කැබිනට් පත්‍රිකාවක් හරහා අනුමත කිරීමට කටයුතු යෙදූ බවත්, ප්‍රතිපත්තියක් ලෙස සලකා එම මුදල් ගෙවීමට රජයට වගකීමක් ඇති බව පිළිගෙන ඉදිරියේදී අර්ථසාධක මුදල් ගෙවීමට රජය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම ලංකාවේ තේ ඉරානයට අපනයනය කිරීම සම්බන්ධයෙන් පවතින බාධක ඉවත් කරදෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා හා තමන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමු වූ අවස්ථාවේ කළ ඉල්ලීමට නුදුරේදීම සහන ලබාදෙන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසූ බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව ඉදිරියේදී අතරමැදියන්ගෙන් තොරව සෘජුව ඉරානයට තේ ආපනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් නෙරපීමේ සිද්ධියට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ දරන මතය සම්බන්ධයෙන් මාධ්‍ය‘වේදිෙයකු විමසූ අවස්ථාවේ ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“තිස්ස අත්තනායක එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් අපට නැහැ. ඔහුයි අපිව දාලා ගියේ. පසුගිය මැතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පරද්දන්න ඔහු විශාල උත්සාහයක් ගත්තා. එතනයි ප්රශ්නය තියෙන්නේ. එතුමා ලංකාවේ ඉන්න ලොක්කන් දෙන්නා වන ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්කයි හැප්පුණේ. ඒ දෙන්නා ගැනයි දෝෂාරෝපණය කළේ. ටී.එන්.ඒ. එකත් එක්ක හොර ගිවිසුමක් තියෙනවා කියලා ප්රශ්නය ඇතිවුණේ එතන. මට කනගාටුයි ඔහු ගැන. ඔහු මේවා යන්න කලින් අපෙන් ඇහුවා නම් අපි කියනවා ඕක කරන්න එපා කියලා* යනුවෙන් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

