ඉන්ධන මිල අඩු කිරීමෙන් තෙල් සංස්ථාව පාඩු ලබා තිබෙන නිසා එය විකුණා දැමීමට සැලසුම් කර ඇතැයි යන්න හා ඉන්ධන මිල වැඩි කරන බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, ගෙවීගිය මාස තුනක කාලය තුළ තෙල් සංස්ථාවේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 17,000 ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව ඉන්ධන මිල පහළ දැමූ බවත්, මේ නිසා මේ වසරේදී ජනතාවට රුපියල් බිලියන 80 ක ඉන්ධන සහනයක් ලැබෙන අතර, පවුලක් වශයෙන් ගතහොත් එක් පවුලකට රුපියල් 15,000 ක සහයක් ලැබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
තමන් අමාත්‍යාංශය භාරගත් දා සිට අමාත්‍යාංශය තුළ සිදුවෙමින් තිබූ ජාවාරම ක්‍රියා සහ දූෂණය නාස්තිය නවතා දැමීමට කටයුතු කළ බවත්, මෙය ඉවසාගත නොහැකි යම් පිරිසක් ඉන්ධන මිල ඉහළ දමන බව හා ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවන බව පවසමින් ජනතාව බියගන්වමින් තිබෙන බවත් සඳහන් කළේය.
වර්තමානයේදී තෙල් සංස්ථාව ක්‍රියාත්මක වන්නේ යම් ක්‍රමවේදයකට අනුව බවත්, මෙම ක්‍රමවේදය තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් පවසන අමාත්‍යවරයා, මිල සූත්‍රයක් සකස්කර නොමැති වුවද එය සකස් කරනතුරු ඉන්ධන සම්බන්ධ කටයුතු කරන්නේ මිල සූත්‍රයට සමාන ක්‍රමවේදයකට අනුව බවද කියා සිටියේය.
යම් පිරිසක් ඉන්ධන මිල ඉහළ යන බවට ප්‍රචාරයක් දියත් කළද, ඉන්ධන මිල පිළිබඳ තීරණ ගැනීමේ බලතල අමාත්‍යවරයා වශයෙන් තමා සතු බවත්, මේ නිසා කිසිදු ආකාරයකින් ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවන නොවන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.