(UPDATE) තුර්කියේ අන්කාරා නගරයේදී ජිහාඩ් අන්තවාදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ රුසියානු තානාපතිවරයා බරපතල තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
තුර්කියේ රුසියානු තානාපතිවරයා එරට අන්කාරා නගරයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, තානාපතිවරයා බරපතල තත්ත්වයේ පසුවූ බවත් මීට පෙර වාර්තා විය.
අන්කාරා නගරයේ ඡායාරූප ගැලරියක ප්‍රදර්ශනයක් නරඹමින් සිටියදී හොඳින් හැඳ පැළඳගත් තරුණයෙකු තානාපති අන්ද්‍රෙයි කර්ලෝව් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. පසුව පොලීසිය පැමිණ තුවක්කුකරු මෙල්ල කර තිබූ බවත්, තානාපතිවරයා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.
මෙම වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී තානාපතිවරයා කතාවක් පවත්වමින් සිට තිබේ. සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් හා ටයි පටියකින් සැරසී සිටි තුවක්කුකරු සිය පිස්තෝලය වනමින් 'අල්ලාහු අක්බර්' (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් කෑමෝර දෙන ආකාරය කැමරාවල සටහන් වී තිබේ.
'අමතක කරන්න එපා ඇලෙප්පෝ... අමතක කරන්න එපා සිරියාව... දෙවියන් ශ්‍රේෂ්ඨයි... දෙවියන් ශ්‍රේෂ්ඨයි...' ඔහු මහා හඬින් පවසා තිබේ.
සිරියාවේ සිදුවන රුසියානු හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව තුර්කියේ උද්ඝෝෂණයක් සිදුවී දිනක් ගෙවී යන තැන මෙම ප්‍රහාරය සිදුව තිබීමද විශේෂත්වයකි.
රුසියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට තානාපතිවරයා එම අවස්ථාවේදී 'තුර්කිවරුන් රුසියාව දකින්නේ කෙසේද?' යන තේමාවෙන් වූ ඡායාරූප ප්‍රදර්ශනයක් නරඹමින් සිට ඇත.
ඉතා හොඳින් හැඳ පැළඳ වැදගත් තරුණයෙකු ලෙස පැමිණි මොහු සේවාමුක්ත පොලිස් භටයෙකු ලෙස හඳුනාගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයත් සමග ජිහාඩ් අන්තවාදයේ හුදකලා ප්‍රහාරවල ස්වභාවයත්, ඒවා සොඳුරු කෘරත්වයක් රැගෙන පැමිණෙන ආකාරය පිළිබඳවත් වඩාත් විමසිලිමත්වීමේ අනතුරු ඇඟවීම ලොවටම ලබාදී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ඇමෙරිකානු රජය විසින්ද හෙළා දැක ඇත.