රජය ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත උතුරු පළාත් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, නැගෙනහිර පළාත් සභාව විසින් එය අත්හිටුවා ඇති බව කථානායක කරු ජයසූරිය මහතා අද(21දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
උතුරු මැද පළාත් සභාව පනත් කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව එකඟතාව පළකර ඇති අතර,ඉතිරි පළාත් සභා හය සංශෝධන සහිතව පනත් කෙටුම්පතට එකඟතාව පළකර ඇති බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණසහ ඌව පළාත් සභා මෙලෙස සංශෝධන සිදුකරන ලෙස ඉල්ලා ඇත.
රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කරනතුරු මෙම පනත් කෙටුම්පත සලකා බැලීම කල්දැමීමට නැගෙනහිර පළාත් සභාව කටයුතු කර ඇති බවද කථානායකවරයා පැවසීය.
ශ්‍රීලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත පසුගිය ජනවාරි මස 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 උ (5)(අ) ව්‍යවස්ථාවට අනුව එය පළාත් සභාවල අදහස් ලබාගැනීමට යොමු කෙරිණි.
මාසයක් ඇතුළත මේසම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස පළාත් සභාවලට දන්වා සිටි අතර, ඒ අනුව පළාත් සභා විසින් මෙම පනත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.