තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද (19දා) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දූපත් රාජ්‍යයක් ලෙස, මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා, භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද ජනපතිවරයා මෙහිදි පැවැසීය.
භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා තිබෙන අතර, ලෝකයේ ආර්ථික බලවේගයක් බවට ආසියා කලාපය පත්වෙමින් තිබෙන අවධියක ශ්‍රී ලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රීය පිහිටීම උපයෝගී කරගෙන ප්‍රාග්ධන උත්පාදන උදෙසා විශේෂ අවධානයක් යොමුකරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
දරිද්‍රතාවෙන් මිදීම, රැකියා උත්පාදනය, සමානාත්මතාව ප්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනාදී ඉලක්කයන්ට ළගාවීම සඳහා අපගේ ජනතාවට, අපගේ සාගර කලාපයේ අවශ්‍ය ප්රතිලාභ ලබාදිය හැකි අතර එය ස්ථාවර සහ තිරසර අනාගතයක් ළගා කර ගැනීමට ඇති මාර්ගය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එක්සත් රාජධානිය විසින් යෝජිත ,පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම, වෙනුවෙන් පූර්ණ සහයෝගීතාවය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින අතර, එවන් පසුබිමක ,පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප්රඥප්තිය, සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප්රයත්නයන් මගින් සුරක්ෂිත කර ගැනීමට බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සුනිල් ජයසිරි (එංගලන්තයේ ලන්ඩන් නුවර සිට)