තායිවානයේ තායිපේ අගනුවර දුම්රියක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
තායිපේ සොන්ග්ෂාන් දුම්රිය ස්ථානයේ සිට ගමන් ඇරඹීමට තිබූ දුම්රියේ මෙම පිපිරීම සිදුව ඇති අතර, තුවාල ලැබූවන් වැඩි දෙනා දරුණු පිළිස්සුම් තුවාල ලබා ඇති බවද කියයි.
සිද්ධිය වූ ස්ථානයේ තිබියදී පුපුරණ ද්‍රව්‍ය සහිත නලයක් ආකාරයේ උපකරණයක කොටස් හමුවී ඇති අතර, මෙය බැලූ බැල්මට විශාල ගිනිකෙළියක ස්වරූපය ගත්තත්, එය අහම්බයෙන් සිදුවූ පිපිරීමක් නොවන බවද පොලීසිය විශ්වාස කරයි.
එරට බෝම්බ නිශ්ක්‍රීය අංශ ප්‍රධානියා පවසා සිටියේ කළු පැහැති බෑගයක සුන්බුන් අතර මෙම පුපුරණ ද්‍රව්‍ය පිරවූ නලය හමුවූ බවයි. එමෙන්ම, මෙම පිපිරීමට හේතුව එය නලය විය හැකි බවට ඔවුන් දැනට විශ්වාස කරයි.
කෙසේ වෙතත්, සිද්ධිය ඇසින් දුටුවකු පවසා ඇත්තේ යම් ත්‍රිකෝණාකාර යමක් දුම්රිය වෙත රැගෙන මගියෙකු නැගීමත් සමග මෙම පිපිරීම සිදුවූ බවයි.
පිපිරීමෙන් පසුව දුම්රිය මැදිරිය සම්පූර්ණ කළු දුමාරයකින් වැසී ගිය බවත්, පිපිරීමේ මහා ශබ්දය සමග මගීන්ගේ මර ලතෝනියෙන් සියලු දෙනා හිස් ලූ ලූ අත දිව ගිය බවත් තවත් අයෙකු පවසා තිබුණි.
කෙසේ වෙතත්, මෙම පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එහි වගකීමද කිසිවෙකු බාරගෙන නොතිබුණි.