අබිරහස් අන්දමින් ජීවිතක්ෂයට පත්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ප්‍රථම මරණ පරීක්ෂණයේදී හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා විසින් මෘත ශරීරයෙන් ලබාගත් ශරීර කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අස්ථානගත වී ඇතැයි රහස් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
මරණ පරීක්ෂණය අවස්ථාවේදී තාජුඩීන්ගේ මෘතශරීරයෙන් ලබාගත් කොටස් සුරක්ෂිත කරන ලෙස එම මරණ පරීක්ෂණයට සහාය වූ අධිකරණ වෛද්‍ය නිලධාරී රාජගුරු මහතා, හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතත් එම ශරීර කොටස් සොයාගැනීමට නොහැකි බව වර්තමාන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා දැනුම් දී ඇති බව රහස් පොලීසිය පවසා සිටියේය.
තාජුඩීන්ගේ මෘතශරීරයෙන් ලබාගත් කොටස් අධිශීතකරණයේ හෝ ශීතාගාරයේ තැන්පත් කර ඇති බවට සඳහන් කර ඇතත් එම කොටස් සොයාගැනීමට නොහැකි බවත්, එම ශරීර කොටස් සොයාගැනීමට අදාළ කිසිදු සටහනක් ලේඛනවල තබා නොමැති බවත් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා තමන්ට දැනුම් දුන් බවද රහස් පොලීසිය අධිකරණය දැන්වීය.