මෝටර් රථයක් තුළ අභිරහස් අන්දමින් පිළිස්සී මිය ගොස් සිටි රගර් ක්‍රීඩක තාජුඩීන් නමැත්තාගේ මරණයට අදාළව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ වාර්තා පරස්පර වීම පිළිබඳව සැක මතුව ඇතැයි රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පරස්පරතාව සම්බන්ධයෙන් මතු වූ සැකය අනුව ඒ පිළිබඳව නීතිපතිවරයාට දැනුම් දී නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවද රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
2012 මැයි මස 17 වැනිදා නාරාහේන්පිට පාර්ත් වීදියේ ශාලිකා ක්‍රීඩාංගණය අසල මහ පාරේ මෝටර් රථයක් තුළ අභිරහස් ලෙස පිළිස්සී මියගොස් සිටි මොහොමඩ් වසීම් තාජුඩීන් නමැති රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 16 වැනිදා රහස් පොලීසිය විසින් ආරම්භ කරන ලද පරීක්ෂණවලදී රස පරීක්ෂක වාර්තා හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා එකිනෙකට පරස්පර බව හෙළිකරගෙන ඇත.
ඒ අනුව තාජුඩීන් නැමැත්තා මියගොස් සිටි ස්ථානය පරීක්ෂා කළ සහ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තා ඉදිරිපත් කළ ආනන්ද සමරසේකර සී.කේ. රාජගුරු, ශ්‍රියන්ත අමරරත්න සහ දයානි වීරරත්න යන මහත්ම මහත්මීන්ට ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
තාජුඩීන් නැමැත්තා ඝාතනයට ලක් වූ 2012 මැයි 17 වැනිදා ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගත් හා එයට ලැබුණු ඇමතුම් පිළිබඳ වාර්තා පරීක්ෂණ සඳහා අවශ්‍ය වී ඇතැයි කියමින් රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එම දුරකථනන ඇමතුම් පිළිබඳ විස්තර රහස් පොලීසියට ලබාදෙන ලෙස සියලුම ජංගම දුරකථන සමාගම්වල කළමනාකරුවන්ට නියම කළේය.
ඊට අමතරව එම දුරකථනයට අදාළ තොරතුරු රහස් පොලීසියට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විදුලි සංදේශ නියාමන කොමසාරිස්ටද නියම කළේය.
මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය ලබන ජූලි මස 02 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් රහස් පොලීසියට නියම කළේය.