සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී අභිරහස් අන්දමින් පිළිස්සී මිය ගිය බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධිත සැකකරුවන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඝාතනයට ලක්වූ තාජුඩීන්ගේ ජංගම දුරකථනයෙන් ලබාගත් විශ්ලේෂණ වාර්තාද පදනම් කරගනිමින් මෙම සැකකරුවන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලීසිය ඊයේ (22දා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
මේ රටේ සිටින සියලුම පුරවැසියන්ට මෙන්ම වසීම් තාජුඩීන් නමැත්තාට යුක්තිය ඉෂ්ට විය යුතු බව ඒ අවස්ථාවේදී පෙන්වා දුන් මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එම යුක්තිය කඩිනමින් ඉටු විය යුතු බවද පෙන්වා දුන්නේය.
පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණයේ අවසර මත ගොඩගනු ලැබුවේ වසීම් තාජුඩීන් මහතාගේම මෘත ශරීරය බව නිශ්චය කර ගත යුතුව ඇතැයි කියමින් රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් තාජුඩීන්ගේ මවගෙන් රුධිරය ලබාගෙන ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (22දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී තාජුඩීන්ගේ පවුලේ ඥාතීන් ඊයේ අධිකරණය ඉදිරියට ඉදිරිපත් වූහ.
මෙම සිද්ධියට අදාළව කරනු ලබන පරීක්ෂණ සඳහා මේ වනවිට පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇතැයිද ජංගම දුරකථනවලට අදාළව කරන පරීක්ෂණ සඳහා ඩයලොග් දුරකථන සමාගම විශාල සහයෝගයක් ලබාදෙන්නේ යැයිද දැනුම්දුන් රහස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඩයලොග් දුරකථන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවද සඳහන් කළේය.
ඒ සදහා අවසර දුන් මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණ කටයුතු සඳහා දක්වන සහයෝගය පිළිබඳව ඩයලොග් සමාගම ඇගයීමට ලක් කළේය. සිද්ධියට අදාළව කරන පරීක්ෂණවල ප්‍රගතිය ලබන මස 02 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළේය.